මුද්‍රණය සඳහා

 
ශී‍්‍ර ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ඉදිරියට

ශී‍්‍ර ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ඉදිරියට

[2015-05-07 11:30]

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත‍්‍රයේ අද්වීතීය ස්ථානයක් ළඟා කර ගනිමින් ශී‍්‍ර ලංකාව පියවර කිහිපයක් ඉදිරියට පැමිණ තිබෙන බව ලෝක ආර්ථික සමුළුව විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ ශ්‍රේණිගත කිරීම් අතර ලොව 76 වන ස්ථානයේ සිට 65 වන ස්ථානය දක්වා ඉහළට පැමිණිමට ශී‍්‍ර ලංකාවට හැකි වී තිබෙන අතර මේ ශ්‍රේණිගත කිරීම් අනුව සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් අතරින් ප‍්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත.

මැලේසියාව දෙවන ස්ථානයේ සිටින අතර සෙසු සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් වන චීනය ඉන්දියාව වැනි රටවල් පහළ ස්ථාන හිමිකර ගෙන තිබේ.

රජයේ පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට ශී‍්‍ර ලංකාව ඉදිරියෙන් සිටින බව නවතම වාර්තාවලින් හෙළිවී ඇති බවයි.

ශී‍්‍ර ලංකාවේ සමස්ත අන්තර්ජාල පාරිභෝජනය පසුගිය වසරේදී 18% සිට 21.9% දක්වා වර්ධනය වී ඇති අතර ලොව අඩු ම මාසික අන්තර්ජාල සේවා ගාස්තු සපයන්නන් අතරින් 3 වන ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමි ව ඇත.

ශී‍්‍ර ලංකාවේ ජනගහණයෙන් 95.5% ක් පමණ ප‍්‍රමාණයක් ජංගම දුරකතන සබඳතා ලියාපදිංචි කර ඇති අතර ගෘහස්ත පරිගණක භාවිතය ජනගහනයෙන් 16.4% වේ.

තොරතුරු සන්නිවේදන ක්ෂේත‍්‍රය සඳහා රජයේ දායකත්වය මනිනු ලබන නිර්නායක අතරින් ද ශී‍්‍ර ලංකාව ඉදිරියට පැමිණ ඇති අතර ඒ අනුව තොරතුරු සන්නිවේදන ක්ෂේත‍්‍රය සඳහා රජයක් වශයෙන් වැඩිදායකත්වයක් සපයන රටවල් අතර 16 වන ස්ථානය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්ව ඇත.

රාජ්‍ය ව්‍යාපෘති සාර්ථකත්වය අතින් ලොව 13 වන ස්ථානය ලංකාවට හිමි ව තිබෙන අතර මේ ශීඝ්‍ර දියුණුව උදෙසා ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විශාල දායකත්වයක් දක්වයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]