ගාල්ල බන්ධනාගාර රැඳවියන් යහමඟට යවන්න සිපිරි වෘත්තීය නිපුණතා පියසෙන් දැනුම

ගාල්ල බන්ධනාගාර රැඳවියන් යහමඟට යවන්න සිපිරි වෘත්තීය නිපුණතා පියසෙන් දැනුම

තරාතිරම කුමක් වුවද කිසිම දිනක පුද්ගලයකු නොයායුතු තැනක් හැටියට බන්ධනාගාරය හැදින්විය හැක. එහෙත් කවර හේතුවක් මත හෝ බන්ධනාගාරගත වන පුද්ගලයකු පුනරුත්ථාපනය කර යහපත් මිනිසකු ලෙස මාජ ගත කිරීම බන්ධනාගාරයෙහි වගකීම වේ.

ගාල්ල නගර මධ්‍යයේ පිහිටි ගාල්ල බන්ධනාගාර භූමියේ පර්වස් 30ක පමණ ප්‍රමාණයක ක්‍රමානුකූලව සකස් කරන ලද උඩරට හා පහතරට එළවළු බෝගයන්ගෙන් සමන්විත ගෙවත්ත සඳහා පොහොර වශයෙන් යොදා ගන්නේ කොම්පෝස්ට් පොහොර පමණි.

බන්ධනාගාර රැඳවියන්ගේ නිපුනතා නන්වාලීමට සිපිරි වෘත්තීය නිපුනතා පියස ලෙස වත්මන් ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතාගේ උදාර සංකල්පයක් මත ආරම්භ වූ මේ කෘෂිකාර්මික ගෙවතු වගාවේ සිමෙන්ති ගඩොල් නිපැයුම් හළක් මෙන්ම ආපන ශාලාවක් ද වේ.

මෙහිදී අදහස් දැක්වූ සිපිරි වෘත්තීය නිපුනතා පියස භාරව කටයුතු කරන බන්ධනාගාර නියාමක ඒ. ඊ. චන්දන මහතා සහ ඔහුගේ සහාය නිලධාරි පී. කේ. සී. අනුරුද්ධ මහතා මෙසේ කීවේය. බන්ධනාගාරයේ දැනට රැඳවියන් හයසියයකට අධික ප්‍රමාණයක් ඉන්නවා. යම් දිනක මොවුන් බන්ධනාගාරයෙන් ඉවත්ව ගිය දිනක ඔවුන්ට තමන්ගේම ස්වයං රැකියාවක් කිරීමට අවශ්‍ය පුහුණුව මෙයින් ලබාදෙනවා. ඒ වගේම මේ ගෙවත්තේ බන්ධනාගාර නිලධාරීන්ට මෙන්ම රැඳවියන්ට කොම්පෝස්ට් පොහොර පමණක් යෙදූ වස විස නැති එළවළු මේ ගෙවත්තෙන් එදිනෙදා ආහාර සඳහා ලබා දෙනවා.

මේ ඉඩම වල්බිහිවෙලා තියෙන කොට අපේ බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහත්මා ප්‍රධාන ජේලර් ටී. ආර්. ප්‍රභාත් යන මහත්වරුන්ගේ උපදෙස් මත තමයි මේ සිපිරි වෘත්තීය නිපුණතා පියස ක්‍රියාත්මක වන්නේ.

ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා මෙසේ කීවේය.

ගාල්ල බන්ධනාගාරයට යන සිරකරුවා මේ බන්ධනාගාරය තුළදීම පුනරුත්ථාපනය කරලා සමාජගත කිරීම තමයි අපේ අරමුණ. දැන් මේ ව්‍යාපෘතියෙන් සේවාවන් දෙකක් වෙනවා.

එකක් වෘත්තීමය වශයෙන් නිපුනතාවයක් ලැබෙනවා. ඒක තුළින් සිරකරුවා කවදාහෝ දිනයක සමාජ ගත වෙනකොට ඔහු හොඳ වෘත්තීමය වශයෙන් පන්නරය ලැබූ අයෙක් වනවා. මේ නිෂ්පාදන හරහා හොඳ ආදායමක් ලැබෙනවා. මේ ලැබෙන හැම සතයක්ම බන්ධනාගාර රැඳවියන්ගේ සුභසාධන අරමුදලට බැර කරනවා.

මේ අස්වනුවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. අස්වනු නෙලන කොටම වෙළඳ පොළට යනවා. කොහොම උනත් මේ නිෂ්පාදන අලෙවි කරන්නේ අතිරික්තයක් තිබුණොත් විතරයි. බොහෝ වේලාවට මේ රැඳවියන්ගේ ආහාර වේලට මේ නිෂ්පාදන එකතු කර ගැනීමටත් කටයුතු කරනවා.

නිවිති, වම්බටු, වැටකොළු, තම්පලා, මාළුමිරිස්, දඹල, කෙසෙල් ආදි එළවළු වර්ග රාශියක්ම මෙම බන්ධනාගාර ගෙවත්තේ සරුවට වැවී තිබේ. එම නිලධාරින් පවසන ආකාරයට මේ එළවළුවලට කොම්පෝස්ට් පොහොර පමණක් භාවිතා කෙරේ. මෙහි ඇති තේ කඩය කෙරෙහි ද ජනතාව තුළ විශාල ඉල්ලුමක් ඇත.

රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් මිනිසකු ලෙස සමාජ ගත කරන්නට ගාල්ල බන්ධනාගරයේ ප්‍රධාන බන්ධනාගාර නිලධාරී ජගත් චන්දන වීරසිංහ මහතාත්, ප්‍රධාන ජේලර් ටී. ආර්. ප්‍රභාත් මහත්මාත් මේ සිපිරි වෘත්තීය නිපුනතා පියස භාරව කටයුතු කරන ඒ. ඊ. චන්දන හා පී. කේ. ඩී. අනුරුද්ධ මහතාත් ගන්නා ලද වෙහෙස මුදලින් තක‍්සේරු කිරීමට නොහැක. එවැනි පසුබිමක් ඇති කිරීමට කටයුතු කරන ගාල්ල බන්ධනාගර නිලධාරීන්ගේ මේ කර්තව්‍යය සැබැවින්ම අගය කළ යුතුවේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා