සංගක්කාර ‘හොබාට් හරිකේන්ස්’ කණ්ඩායමට එක්වෙයි

සංගක්කාර ‘හොබාට් හරිකේන්ස්’ කණ්ඩායමට එක්වෙයි

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර 2015–16 ‘බිග් බෑෂ් ලීග්’ තරග වාරයේදී හොබාට් හරිකේන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරයි.

පසුගිය තරග වාරයේ අවසන් පූර්ව වටයට පිවිසීමට අසමත් වූ හොබාට් හරිකේන්ස් කණ්ඩායම වෙනුවෙන් එළැඹෙන තරග වාරය සඳහා ක්‍රීඩා කිරීමට විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු කොන්ත්‍රාත් අස්සන් කර තිබේ. සංගක්කාර සමග එක්වන අනෙක් විදෙස් ක්‍රීඩකයා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ඩැරන් සැමී ය.

“කුමාර්ගේ සහභාගිත්වය හොබාට් හරිකේන්ස් ට පමණක් නොව සමස්ත බිග් බෑෂ් ලීගයටත් ඉතා වැදගත් දෙයකි” යැයි හරිකේන්ස් පුහුණුකරු ඩේමියන් රයිට් පවසයි.

“කුමාර් සංගක්කාර ඉතාමත් දක්ෂ පිතිකරුවෙකු පමණක් නොව හොඳ නායකයෙකුද වීම අපට ඉතාමත් වැදගත් වෙයි. කුමාර් හා ඩැරන් සැමී අපේ ක්‍රීඩා සමාජයට සම්බන්ධ වීමෙන් අපේ සාමාජිකයන්ට හා ක්‍රීඩා ලෝලීන්ට තියුණු ක්‍රිකට් ක්‍රීඩාවක් දැක බලා ගැනීමේ අවස්ථාව ලැබේවි” රයිට් කියයි.

මේ වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව සංගක්කාර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමෙන් සමුගත්තේය. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 130ක්, එක්දින තරග 404ක් හා විස්සයි20 තරග 56කට ක්‍රීඩා කර තිබේ.

දෙවසරකට කොන්ත්‍රාත්තුවකට හොබාට් හරිකේන්ස් සමග එක්වීමට ලැබීම තමාට මහත් ප්‍රීතියක් බව සංගක්කාර පවසයි.

“බිග් බෑෂ් ලීග් තරගාවලිය විනෝදය ගෙන දෙන්නකි. ඉතාමත් උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාවකින් යුත් එය මිත්‍රශීලී තරගාවලියකි” සංගක්කාර ප්‍රකාශ කරයි. “ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු මේ තරගාවලියට ක්‍රීඩා කරනවා. මේ අභියෝගයට මුහුණ දෙන්න මම ඉතාමත් කැමැත්තෙන් සිටිනවා.”

ශ්‍රී ලංකා කණ්ඩායම සමග සංචාරය කරද්දී තමා හොබාට් ප්‍රදේශයට සැමවිටම දැඩි ආශාවක් දැක්වූ බව ‘සංගා’ කියයි. “එහෙ ජනයා හරිම මිත්‍රශීලීයි. එහි ස්වභාවික දර්ශනය හරිම ලස්සනයි. එහි වැඩි කලක් ගතකර එහි දසුන් වැඩි වැඩියෙන් දැකබලා ගන්න මම බලාපොරොත්තු වෙනවා” සංගක්කාර කියයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා