චණ්ඩමාරුත අනාවැකි කලින්ම කියන ක්‍රමයක්

චණ්ඩමාරුත අනාවැකි කලින්ම කියන ක්‍රමයක්

දැවැන්ත විනාශ ඇති කිරීමට තුඩු දෙන චණ්ඩමාරුත පිළිබඳ අනාවැකි පළ කළ හැකි කෘතිම චණ්ඩමාරුත බිහිකළ හැකි සුවිසල් උත්තේජක ටැංකියක් නිපදවීමට විද්‍යාඥ කණ්ඩායමක් සමත් වී ඇතැයි වාර්තා වේ.

මෙම උත්තේජකය ඇසුරුන් කිසියම් චණ්ඩ මාරුතයක ප්‍රවේගය පිළිබඳ අනාවැකි පළ කිරීමේ හැකියාව වැඩිදියුණු වනු ඇතැයි විශේෂඥයෝ බලාපොරොත්තු පළ කරති. චණ්ඩමාරුතයක් පිළිබඳ අනාවැකි පළ කිරීමේලා මෙතෙක් පැවැති ප්‍රබලම දුර්වලතාවක් මෙමඟින් තුරන් කරගත හැකි වනු ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකන් ඩොලර් මිලියන 15ක් වටිනා අඩි 75ක් දිග, අඩි 20ක් පළල, අඩි 6.5ක් ගැඹුර මෙම ටැංකිය නිෂ්පාදනය කර ඇත්තේ මියාමි විශ්ව විද්‍යාලයේ සාගර සහ පාරිසරික විද්‍යාව පිළිබඳ රොසෙන්ස්ටිල් පාසලයි. මෙම උපකරණය මාළුවන්ගෙන් තොර දැවැන්ත මත්ස්‍යාගාරයක ස්වරපයකින් යුතුවේ. මත්ස්‍යාගාරය තැන්පත් කර ඇත්තේ SUSTAIN යන නමින් හැඳින්වෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 47ක් වැය කර ඉඳිකළ ගොඩනැඟිල්ලක් තුළයි.

ප්‍රධාන විද්‍යාඥ බ්‍රයන් හායුස් අශ්ව බල 1700ක එන්ජිම ක්‍රියාත්මක කළ විට ටැංකියට ජල ගැලුම් 38,000ක් පමණ පිරේ. ඉන්පසුව මුලින්ම කුඩා තරංග හට ගැනීමෙන් අනතුරුව සුළගේ ප්‍රවේගය 5 ශ්‍රේණියේ චණ්ඩමාරුතයක වේගය දක්වා වැඩිවේ. ටැංකියේ පෘෂ්ඨය මතින් හමා යන සුළඟේ වේගය පැයට කි.මි.251 පමණ වේ.

නවතම උපකරණය නිපදවීමේ මූලික අරමුණ වී ඇත්තේ චණ්ඩමාරුතවල ප්‍රවේගය වඩා නිවැරැදිව පුරෝකථනය කිරීමයි. පසුගිය 20 වසර ඇතුළත අනාවැකි පළකිරීමේ හැකියාව ක්‍රම ක්‍රමයෙන් දියුණු වුවත්2005 දී කඩා වැදුණ විල්මා චණ්ඩමාරුතයේ ප්‍රවේගය පිළිබඳ අනාවැකි පළ කරීමට නොහැකි වීමෙන් ඉතාම පළපුරුදු අනාවැකි පළ කරන්නවුන් ද අන්දමන්ද වූ බව වාර්තා වේ.‍ 2 ශ්‍රේණියේ චණ්ඩමාරුතයක් වශයෙන් නම්කර තිබු විල්මා චණ්ඩමාරුතය පැය කිහිපයක් ඇතුළත මෙක්ෂිකෝවට කඩා වැදුණේ 5 ශ්‍රේණියේ චණ්ඩමාරුතයක් ලෙසයි.

සෑහෙන පිරිසකට මරු කැඳවුත් බිලියන ගණනාවක දේපළ විනාශ කළාවුත් විල්මා චණ්ඩමාරුතය ඉතාම ප්‍රබල අත්ලන්තික් චණ්ඩමාරුතය ලෙස ඉතිහාසගත වී ඇත. එම වසරේදීම ලුසියෑනා සහ මෙක්සිකෝ බොක්කට කඩා වැඳුණු කත්ත්‍රිනා චණ්ඩමාරුතය ඊටත් වඩා මාරාන්තික චණ්ඩමාරුතයක් විය. චණ්ඩමාරුතයක ශක්තිය පිළිබඳ වැඩිදුර ගවේෂණය කිරීමට හායුස් යොමු කරනු ලැබුවේ එම දරුණු ඛේදවාචකයන් බව සඳහන් වේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා