ශ්‍රී ලාංකිකයා අගමැති වුණොත් වෙඩි තියනවා

ශ්‍රී ලාංකිකයා අගමැති වුණොත් වෙඩි තියනවා

කටමැත දෙඩවූ බ්‍රිතාන්‍ය අපේක්ෂකගේ පක්ෂ අපේක්ෂකත්වය අත්හිටුවයි

අද පැවැත්වෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට දෙදිනක් තිබියදී පෙරේදා, එක්සත් රාජධානි ස්වාධීන පක්ෂය එහි අපේක්ෂකයකුගේ අපේක්ෂකත්වය අත්හිටු වීමට පියවරගෙන තිබේ. ඒ එම අපේක්ෂකයා ප්‍රතිවාදියකුට වෙඩි තබන බවට කළ තර්ජනයක් හේතුවෙනි. මේ පක්ෂය යුරෝපා සංගම් විරෝධී හා සංක්‍රමණික විරෝධී මතයක් දරන්නක් ලෙස සුපතලය.

දකුණු එංගලන්තයේ ඊශාන දිග හැම්ප්ෂයර් ආසනයේ අපේක්ෂකයකු වන රොබට් බ්ලේ නම් මේ පුද්ගලයා කොන්සර්වැට්ව් පාක්ෂිකයකු වන රනිල් ජයවර්ධන නම් අපේක්ෂකයාට ගරහමින් ඔහුට බ්‍රිතාන්‍ය ජාතිකත්වයක් නැත්තකු යැයි අපහාස කරන අයුරු ඩේලිමිරර් පුවත්පත මගින් රූ ගත කර තිබිණ.

ජයවර්ධන බ්‍රිතාන්‍යයේ පළමු වන ආසියාතික අගමැතිවරයා වන බවට වහසි බස් දොඩා ඇතැයි පවසමින් එසේ වුවොත් තමා පුද්ගලිකවම ඔහුගේ හිසටම වෙඩි තබන බව රොබට් බ්ලේ පවසන අයුරු වීඩියෝ පටයෙන් දැක්වි තිබිණ. 'මේ කොල්ලා අපේ අගමැති වුණොත් මම්ම ගිහින් එයාට වෙඩි තියල දානවා. ඒ තරම් හැඟීමක් මට තියෙන්නෙ. මේ ........න්නා (අසභ්‍ය වචනයකි) අපේ අගමැති වෙල ඉන්නව දකින්න මට නම් ඕන නැහැ . ඒ තරමටම මට ඌ අප්‍රසන්නයි" ඔහු කීවේය.

ඔහුගේ මේ ප්‍රකාශය බෙහෙවින් පිළිකුල් සහගත වූවක් ලෙස හඳුන් වන එක්සත් රාජධානි ස්වාධීන පක්ෂයේ ප්‍රකාශක, ඔහු වහා පක්ෂයේ තාවකාලික තහනමට ලක්කර ඇතැයි කීවේය. මෙවන් ප්‍රකාශකයන්ට තම පක්ෂයේ කිසිම ඉඩක් නැති බවත් ඔහුගේ ප්‍රකාශයෙන් ජයවර්ධනට සි ත්වේදනාවක් ඇති වූයේ නම් මේ අවස්ථාවේ සමාව යැද සිටින බවත් ප්‍රකාශකයා කීය.

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් විය යුතුබ ව පවසන මේ පක්ෂය, එම පක්ෂයේ සමහර ප්‍රමුඛයන්ගේ හා අපේක්ෂකයන්ගේ මතවාද නිසා චෝදනාවන්ට ලක්ව තිබෙන්නකි.

ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණිකයකු වූ අයකුගේ පුත්‍රයකු වන අදාළ ජයවර්ධන අපේක්ෂකයා අගමැති ඩේවිඩ් කැමරොන්ගේ කොන්සර්වැටිව් පක්ෂයෙන් තරග කරන අතර ඔහු සිය අසුන ජය ගනු ඇතැයි අපේක්ෂා කර තිබේ.

ඔහුගේ පවුලේ අය මෑතක බ්‍රිතාන්‍යයට පැමිණි අය වන බැවින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් දැරීමට තරම් ඔවුන්ට බ්‍රිතාන්‍ය ජාතිකත්වයක් නැතැයි රොබට් බ්ලේ පවසනු වීඩියෝ පටයේ දැක්වී ඇත. තවද කොන්සර්වැටිව් පක්ෂ පාට වන නීල වර්ණයෙන් යුත් ලාංඡනයක් සහිත වඳුරකු ඉදිරිපත් කළ ද එම අසුන ජය ගත හැකි වනු ඇතැයි ඔහු පවසා තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා