වසර 50කට පසු අමෙරිකා-කියුබා වාණිජ බෝට්ටු සේවාවක්

වසර 50කට පසු අමෙරිකා-කියුබා වාණිජ බෝට්ටු සේවාවක්

අඩ සියවසකටත් වැඩි කාලයකින් පසු ප්‍රථම වතාවට එක්සත් ජනපදය කියුබාව කරා වාණිජ යාත්‍රා සේවාවක් පැවැත් වීම අනුමත කර තිබේ. මෙය දෙරට අතර සබඳතා වර්ධනය වීමේ තවත් පියවරක් ලෙස සැලකේ.

මෙසේ දසක ගණනාවක් තිස්සේ පැවැති තහනම එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් ඉවත් කිරීම ඓතිහාසික සිද්ධියක් ලෙස යාත්‍රා සේවා හිමිකරුවන් ගේ ප්‍රසාදයට ලක්ව ඇත. කියුබාව දක්වා බෝට්ටු‍ සේවා පැවැත් වීම සඳහා ‍‍ෆ්ලොරිඩාවේ සමාගම් 4කට අවසර ලබා දී තිබේ. භාණ්ඩාගාරයේ විදේශ වත්කම් පාලන කාර්යාලයෙන් මේ සඳහා බලපත්‍ර නිකුත් කර ඇති අතර මේ ක්‍රියාව විශාල ඉදිරි පිම්මක් ලෙස අදාළ සමාගම් හඳුන්වයි.

දැනටත් දෙරට අතර ගුවන් සේවා පවත්නා අතර යාත්‍රා සේවාවන් ඇරඹීමෙන් පසු කියුබානු අමෙරිකානුවන්ට ඔවුන්ගේ ඥාතින් බැහැදැකීමට පහසුකම් සැලසේ. අමෙරිකාවේ ෆ්ලොරිඩා තුඩුවෙන් කිලෝ මීටර 150ක දුරින් පිහිටි කියුබාව වෙත මේ යාත්‍රා මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ද හැකිවනු ඇත.

කෙසේවෙතත් මේ යාත්‍රා සේවයේ ආරම්භය සඳහා තවත් කලක් ගත වනු ඇති බවත් ඊට හේතුව දෙරටේම බලධාරීන්ගෙන් අවසර ලැබිය යුතු තවත් අංශ පැවැතිම බවත් අදාළ සමාගම් ප්‍රකාශ කරයි.

ගුවනින් හෝ යාත්‍රා මගින් ගමන්ගත්ත ද අමෙරිකාවෙන් කියුබාවට ගමන් කළ හැක්කේ අවසර ලත් වර්ග ‍12ක් යටතට ගැනෙන්නන්ට පමණි. ඥාතින් බැහැදැක්ම, නිල රාජ්‍ය කටයුතු, මානුෂික ව්‍යාපෘති හා ක්‍රිඩා කටයුතු ඒ අතර ප්‍රමුඛත්වය දරයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා