කොලොම්බියා හිටපු ජනපති උසාවියේදීත් දූෂ­ිතයන් රකින්න හදලා

කොලොම්බියා හිටපු ජනපති උසාවියේදීත් දූෂ­ිතයන් රකින්න හදලා

කොලොම්බියාවේ හිටපු ජනාධිපති අල්වාරෝ යුරිබි ඔහුගේ ප්‍රජාතන්ත්‍ර කේන්ද්‍රීය පක්ෂයේ කීර්ති නාමයට හානි කරන, දූෂණ ක්‍රියා හා ඔත්තු බැලී‍ම සම්බන්ධ චෝදනා ලත් ප්‍රමුඛයින් කීපදෙනකු රැක ගැනීමට පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ක්‍රියා කොට තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනි සිටීමට නියෝග කළ ද යුරිබි අප්‍රසිද්ධියේ සාක්ෂි දීමෙන් පසු පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවේදී කියා සිටියේ ඔහුගේ පාලන සමයේ ඔහුත් සමඟ කටයුතු කළ සිවිල් සේවකයන්ට එරෙහිව සිදුකර ඇති අසාධාරණකම් පිළිබඳ කරුණු 74කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කළ බවය.

ඔහුගේ පාලන කාලය සම්බන්ධ නඩු විභාගවල සාක්ෂියට කැඳවා ඇති යුරිබි දැන් සෙනේට් සභිකයකු ලෙස කටයුතු කරයි. 2006 දී ජයග්‍රහණය ලත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකි වන පරිද්දෙන් සිදුකළ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට අල්ලස් දීම සම්බන්ධයෙන් ඔහුගේ අභ්‍යන්තර කටයුතු හා සමාජ ආරක්ෂණ ඇමැතිවරුන් දෙදෙනාට පසුගිය මාසයේ වසර හයහමාරක සිරදඬුවම් නියම විය.

තවද පසුගිය සතියේ ඔහුගේ බුද්ධි අංශ ප්‍රධානියාට14 වසරක සිරදඬුවම් නියම වූයේ ඔහුගේ ජනාධිපතිත්ව සමයේ විනිසුරුවන්, මාධ්‍යවේදීන් හා විපක්ෂ පුද්ගලයන් පිළිබඳ ඔත්තු බැලීම නිසාය. මෙහිදී ඔහුගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාට අටවසරක සිරදඬුවම් නියම විය.

යුරිබිගේ දැඩි විරෝධත්වය මැද, වත්මන් ජනාධිපති ජුවාන් මැනුවල් සැන්ටෝස් විසින් ෆාක් ගරිල්ලන් සමඟ පැවැති සාම සාකච්ඡා පිළිබඳ ඔත්තු බැලීමට වරදකරු වූ පරිගණක විශේෂඥයකු තමා යුරිබිගේ කඳවුරෙන් ‍සේවයට යොදවන ලද අතර සිදුවු සියල්ල යුරිබි මැනවින් දන්නා බවත් කියා සිටියේය. සාම සාකච්ඡා කඩා කප්පල් කිරීමට ඔහු යොදවන ලද බව ද මේ විශේෂඥයා කීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා