මුද්‍රණය සඳහා

 
බ්‍රිතාන්‍යයෙන් පාඩමක්

බ්‍රිතාන්‍යයෙන් පාඩමක්

ප්‍රජාතන්ත්‍රවාදය ගැන හා යහ පාලනය ගැන පාඩම් උගත හැකි විශේෂ සිද්ධියක් එංගලන්තයෙන් වාර්තා වේ. කවුරුත් දන්නා ලෙස එහි මහා මැතිවරණය දැන් පැවැත්වේ. ශ්‍රී ලාංකික පුරවැසියෝ තිදෙනෙක් ද මැතිවරණ සටනට එක් වී සිටිති. ඔවුන්ගේ ඉලක්කය මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ය. එංගලන්තයේ සිංහල වැසියන් බහුල කලාපයක් තිබේ. එය හඳුන්වන්නේ හැම්ෂෙයි යනුවෙන් ය. මේ කලාපයේ මහජන නියෝජිතයන් ලෙස තරග කරන අය අතර රනිල් ජයවර්ධන නම් තැනැත්තා ද සිටී.

රනිල් ජයවර්ධනට මුල සිටම අභියෝග රැසක් තිබිණි. එම අභියෝගවලට හේතුව ඔහු සුදු ජාතිකයකු නො වීමය. එහෙත් මහා බ්‍රිතාන්‍යයේ දේශපාලන ප්‍රතිපත්ති හා සම්ප්‍රදාය අනුව රනිල් ජයවර්ධනට ඡන්දය සඳහා ඉදිරිපත් වීමේ සුදුසුකම් තිබේ. ඒ අනුව ඔහු ඡන්දය සඳහා ඉදිරිපත් වුණේ ය. ඔහුට එරෙහිව නැඟී සිටි යූ. කේ. අයි. පී. පක්ෂයේ නියෝජිතයා වූ රොබට් බ්ලේ රනිල් මහතාට මරණ තර්ජන එල්ල කළේය. එහෙත් මහා බ්‍රිතාන්‍යයේ නීතිය හා සම්ප්‍රදාය ඊට ඉඩ දුන්නේ නැත.

බ්ලේට ඡන්දය ඉල්ලීම තහනම් කර ඇත. ඔහු රනිල්ට තර්ජනය කිරීම හේතුවෙන් නීතිය ඉදිරියේ පෙනී සිටිය යුතු ය. එහි නීතියට හා සම්ප්‍රදායයට අනුව බ්ලේට යළි කිසි දිනෙක ඡන්දයකට ඉදිරිපත් වීමට බැරි වන්නටත් පුළුවන. මේ මොහොතේ අපගේ සිහියට නැ‍ඟෙන්නේ ශ්‍රී ලංකාවේ ඡන්ද ක්‍රමය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ය. අපේ ඡන්ද ක්‍රමයට අනුව බලවතාට නියම තැනක් ලැබේ. නිදසුනක් කිවහොත් පසුගිය ආණ්ඩු සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආශීර්වාදය ලද සියලු දෙනාට ඡන්දය ඉල්ලීමේ භාග්‍යය ලැබිණි.

හොරුන්, තක්කඩින්, එතනෝල්කාරයන්, කුඩුකාරයන් පාර්ලිමේන්තුවට එන්නේ ඉහත කී සම්ප්‍රදායට අනුවය. මේ රටේ දේශපාලනය තුළ විමර්ශනයක් නැත. පරීක්ෂණයක් නැත. ලොක්කට කැමති දේ සොක්කන් විසින් කරනු ලැබේ.

අපට ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ ක්‍රමය ලැබුණේ බ්‍රිතාන්‍යයෙනි. සර්වජන ඡන්ද බලය අපි ඔවුන්ගෙන් ලබාගත් නමුත් ඔවුන්ගේ සම්ප්‍රදායට අපි තවමත් හුරුව නැති බවකි. සම්ප්‍රදායට හුරු නොවූවාය කියා එකහෙළා කීමටද නොපුළුවන. දකුණු ආසියාවේ පමණක් නොව ලොව සියලු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අතර අපි ඉහළින් වැජඹුණු සමයක් තිබුණි. පසුව ඒ තත්ත්වය වෙනස් විය.

වෙනසට හේතුව මනාප ක්‍රමය සමානුපාත නියෝජන ක්‍රමය අනුව අපේක්ෂකයනට දිස්ත්‍රික්කයක් පුරා ඡන්ද සටනෙහි යෙදීමට සිදුව තිබීමය ආදී වශයෙන් ඡන්ද නීති කැඩීම සාධාරණීකරණය කිරීම උදෙසා වන විවිධ හේතු ද ඉදිරිපත් කෙරේ. කවර ආකාරයෙන් හේතු කීව ද අපේ රටේ මැතිවරණ දූෂිත වන්නට බලපා ඇති ප්‍රධාන හේතුව මැතිවරණ නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දදායකයන්ට සිල් රෙදි බෙදා දුන්නේය. බැසිල් රාජපක්ෂ මහතා ලිත් මුද්‍රණය කළේය. ඡන්ද රැස්වීම් පැවැති සෑම තැනකම බත් පැකට් ද, මත්පැන් ද බෙදා දුන්නේය. නීතියට අනුව මේ සියලු දේ වැරැදිය. මෑත යුගයේ පැවැති සියලු මහ මැතිවරණවලදී ද මේ ආකාරයේ දේ අඩු වැඩි වශයෙන් සිදුවිය. පාරට තාර දමන්නේ මැතිවරණය ආසන්නයේය. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වූ පසුව උත්සව පවත්වමින් විවිධ විවෘත කිරීම් කෙරිණ. කිසිවෙක් ඒ පිළිබඳ ප්‍රශ්න නොකරති. විරුද්ධ නොවෙති. උපාසක උපාසිකාවෝ පෝලිමේ ගොස් සිල් රෙදි ලබාගත්තා පමණක් නොව පෝලිමේ ගොස් ඡන්දය ද පාවිච්චි කළා මිස කිසිවෙක් උසාවි නොගියහ. පොලිසියට පැමිණිලි නොකළහ. සිල් රෙදි බෙදූ තැනැත්තා බෝධි පූජා පවත්වමින් පන්සල් පාසා ඇවිදිමින් දැන් පවසන්නේ “සිල් රෙද්දක් බෙදුවත් වැරදියිලු අපේ හාමුදුරුවනේ” කියාය.

බ්‍රිතාන්‍යයේ විණිනම් මැතිවරණ නීති කැඩීම පිළිබඳ වරදට අත්අඩංගුවට ගැනීමට ඔහුගේ ඒ ප්‍රකාශය පමණක් වුව සෑහෙනු නො අනුමානය. රනිල් ජයවර්ධන සහ රොබට් බ්ලේගේ ගැටුම හමුවේ රොබට් බ්ලේ අයත් දේශපාලන පක්ෂය ක්‍රියා කළ ආකාරයෙන් අපට ඉගෙනගැනීමට ඉතාම වැදගත් පාඩමක් ඇතැයි අප සිතන්නේ එහෙයිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]