මුද්‍රණය සඳහා

 
සන්නසකින් සිංහල රජු ගම්වර දුන් වහකෝට්ටේ සාන්ත අන්තෝනි දෙව්මැදුර

සන්නසකින් සිංහල රජු ගම්වර දුන් වහකෝට්ටේ සාන්ත අන්තෝනි දෙව්මැදුර

අදත් දේවමෙහෙය හේවිසි හොරණෑ හඬ මැද

පංච තූර්ය නාදයෙන් දෙවිඳු පුදන හේවිසි හොරණෑ නාද නැඟෙන ක‍තෝලික පුදබිමක් පිළිබඳ ඔබ අසා තිබේද? ලක කොතැනක හෝ එවැනි දෙව්මැදුරක් ඇතැයි කිවහොත් ඔබ පුදුමයෙන් ඇලළී යන බව නොබොරුය. එහෙත් වාසලකෝට්ටේ හෙවත් වහකෝට්ටේ ශුද්ධ වූ අන්තෝනි මුනිදුන්ගේ පූජනීය සිද්ධස්ථානයේ හේවිසි හොරණෑ නාදය ගම්දනව් සිසාරා අදටත් ඇසෙයි. එම දෙව්මැදුරේ විශේෂත්වයන් අතුරින් එය එකක් පමණී.

ඊට පාදක වූ ඓතිහාසික සිදුවීම් අනුව මෙන්ම ජන කතා අනුවද මහනුවර යුගයේ මෙරට ආගමික සංහිඳියාව මොනවට පැහැදිලි වේ.

එහි ඓතිහාසික කතා පුවත මෙරට පෘතුගීසි ලන්දේසි ගැටුම් පැවැති සමය දක්වා දිව යයි. දොන් ජුවන් ධර්මපාල රජු මිය යාමෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1597 කාල වකවානුවේ මුහුදුබඩ පළාතේ පෘතුග්‍රීසින් වාසය කළේ ලන්දේසින්ගේ තාඩන පීඩන මැදය. එවකට කන්ද උඩරට රාජ්‍ය පාලනය කළ දෝනකතිරිනා කුමරියගේ පුත් දෙවන රාජසිංහ රජු පෘතුගීසින්ට කන්ද උඩරට රාජ්‍යය වෙත පැමිණෙන ලෙස ආරාධනා කළේය. ආරාධනය පිළිගෙන කන්ද උඩරටට පැමිණි පෘතුගීසින් වහකෝට්ටේ සහ වෑඋඩ වැනි ප්‍රදේශවල පදිංචි කරවීමට දෙවන රාජසිංහ රජු කටයුතු කළේය.

1747 දී දෙවන රාජසිංහ රජු මිය යෑමෙන් පසුව රාජාසනයට පත්වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුය. කතෝලික විරෝධියකු වූ හෙතෙම පෘතුගීසින් ගම්මානවලින් පන්නා දැමීය. එකල රට තුළ ප්‍රබල වසංගතයක් සහ සාගතයක් ඇතිවුණි. එය පෘතුගීසින් එළවා දැමීම නිසා සොබා දහම ලබා දුන් දඬුවමක් යැයි රටපුරා රාවයක් ද පැතිරිණි. ඉන් බියට පත් රජු පෘතුගීසින් නැවත ගෙන්වා වහකෝට්ටේ ග්‍රාමය ප්‍රදානය කළේය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු පෘතුගීසින් ඇතුළු කිතුනු භක්තිකයන්ට පුද පූජා පවත්වන්නට දෙව් මැදුරක්ද තනවා දුනි. ඊට අවසර ලබා දුන්නේ තඹ සන්නසක් මඟිනි. එපමණක්ද නොව, ජුසේවාස් පියතුමන්ගේ නුවර දෙව්මැදුරෙන් පැහැරගෙන තිබු ප්‍රතිමා ඇතුළත් සියලු භාණ්ඩ වහකෝට්ටේ දෙව්මැදුර තෙක් පෙරහරෙන් රැගෙන ගිය බවද ඉතිහාසයේ දැක්වෙයි.

මෙසේ ප්‍රතිමා ඇතුළු සියලු භාණ්ඩ වහකෝට්ටේ වෙත ගෙන ගියේ හේවිසි හොරණෑ හඬ මධ්‍යයේය. අද වන විටත් වහකෝට්ටේ පූජනීය සිද්ධස්ථානයේ හේවිසි නාද පවත්වන්නේ ඒ අතීතය සමරමින්.

ජනවහරේ ඇත්තේ තවත් කතාවකි. එනම් වහකෝට්ටේ ප්‍රදේශයේ අධික නියං සමයක් පැවැතිණිලු. එම නියං තත්ත්වය පහකොට වැසි වස්සවා කෙත්වතු කරන්නට මග පාදාගනු පිණිස කතෝලික බෞද්ධ ගොවි ජනතාව එක්ව ශාන්ත අන්තෝනි මුනිදුන්ට ශබ්ද පූජා සහ අලුත් සහල් පූජා පැවැත්වූ බව ඉන් කියැවේ.

පුදසුන මත එකම උසකින් ඉටිපන්දම් දැල්වෙන්නේ සිත් සතන් තුළ අනුපමේය භක්ත්‍යාදරයක්ද දල්වමිනි. කතෝලික සංස්කෘතියේදී මිනිසාත් ආගමත් අතර පවතින විශ්වාසය යටහත් පහත් බව ඉටිපන්දම් දැල්ලේ සනිටුහන්ව ඇති බව පසක් වන්නේ වහකෝට්ටේ දෙව්මැදුරේ දල්වා ඇති ඉටිපන්දම් ගොන්න දුටුවිටදීය.

දෙව්මැදුර අසල සිට අවට විමසන්නෙකුට මෙහි වූ පෞඪත්වය අවබෝධ වන්නේ ලුර්දු ගුහාවත්, කල්වාරි පුදබිමත්, මරියතුමියගේ ප්‍රතිමාව ආදී ස්ථාන දුටුවිටදීය. මෙම වැදගත් ස්ථාන පිළිබඳව සවිස්තරාත්මක කරුණු ගෙන හැර දැක්වූයේ වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ ජාතික සිද්ධස්ථානයේ පාලනාධිපති පියතුමන් වන යෝවාන් සවරිමුත්තු පියතුමන්ය.

කතෝලික ඓතිහාසික පූජනීය ස්ථානයක් වන වහකෝට්ටේ මරියතුමියගේ ප්‍රතිමාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙන් හිමිවුණ ත්‍යාගයක්. මෙම ප්‍රතිමාව අතීතයේ දී වහකෝට්ටේට ගෙන ආ අවස්ථාව සිහිගන්වනු වස්, වසරක් වසරක් පාසා සෑම වසරකදීම ජූනි මාසයේ දී පවත්වනවා.

එදිනට මරියතුමියගේ ප්‍රතිමාව දේවස්ථානය වටා පෙරහරකින් වැඩම කරවනවා. මේ පෙරහර මහනුවර ඇසළ පෙරහරට සමානයි. සංස්කෘතික අංග රැසක්, වෙස් නැටුම් කණ්ඩායමක්, හේවිසි කණ්ඩායමක් වැනි සුවිශේෂී අංග රැසකින් සමන්විත මෙම පෙරහර පැය දෙකකට වැඩි කාලයක් දෙව්මැදුර වටා ගමන් ගන්නවා.

ජූනි මාසයේ පවත්වන මහා මංගල්‍යය රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන අතරම මෙය ශුද්ධ වූ මුනිතුමන්ගේ ප්‍රධාන මංගල්‍යයි. මෙයට අමතරව වහකෝට්ටේ පුදබිමෙහි වසරක් පාසා පවත්වනු ලබන තවත් සුවිශේෂී උත්සවයක් අගෝස්තු මාසයේ පවත්වනු ලබනවා. ඒ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණිතුමන්ගේ උපන් දිනය සමරමින් පවත්වනු ලබන උත්සවය.

මෙම උත්සවත් පුදබිම ඇසුරෙහි පිහිටා තිබෙන සුවිශේෂී ලූර්දු ගුහාව, කල්වාරි පුදබිම වැනි ස්ථානත් හේතුවෙන් කතෝලික සහ බෞද්ධ මුස්ලිම් සියලු බැතිමතුන් වහකෝට්ටේ පූජනීය ස්ථාන දැක බලා ගැනීමට පැමිණෙනවා.

ලුර්දු ගුහාව යනු මඩු වන්දනාවේ ගිය බැතිමතුන්ගේ අවශ්‍යතාව මත 1952 වසරට පෙර ආකෘතියක් ලෙස ඉදිකරනු ලැබූවකි. කළු කඩදාසි යොදා ගනිමින් ලුර්දු ගුහාවේ ආකෘතිය තැනීම ප්‍රායෝගික නොවීම හේතුවෙන් සෙබෙස්තියන් පියතුමාගේ මූලිකත්වයෙන් කළු ගලෙන් ලුර්දු ගුහාවක් නිර්මාණය කර තිබෙනවා. ලුර්දු ගුහාවක් ප්‍රථමයෙන් දක්නට ලැබුණේ ප්‍රංශයෙන්. ලුර්දු ගුහාවේ සුවිශේෂීත්වය වන්නේ, ජපමාලා උච්චාරණය නමැති දේව යාච්ඥාව සඳහා සුදුසු පරිසරයයි. ජපමාල උච්ඡාරණය සිදුකරන්නේ අභිරහස් විස්සක් සිහිකරමින්. ලුර්දු ගුහාවක් තුළදී මෙම කටයුත්ත සිදුකිරීම පහසුය.

ජේසුස් වහන්සේ කුරුසිය රැගෙන ගියේ කල්වාරි කන්ද වෙතයි. එය සිහිකරනු වස් කල්වාරි පුදබිමක් ද සකස් කර තිබේ. එය මහනුවර රදගුරු අතිඋතුම් ජෝෂප් වියානි හිමියන්ගේ සුරතින් ආසිරි ගන්වා පුදකර තිබෙන්නේ 2009 පෙබරවාරි මාසයේදීයි. ඒ නව සැලැස්මක් අනුව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුවයි.

වහකෝට්ටේ කල්වාරි පුදබිමේ පළමු කුරුසියේ යාගය සිදුකර ඇත්තේ 1964 මාර්තු මස 27 වැනිදා වන මහ සිකුරාදා දිනයකයි. දෙව්මැදුර ආසන්නයේ වූ කුඩා උස්බිමක (කන්දක් වැනි) සකස් කර ඇති කල්වාරි පුදබිම මනස්කාන්ත ප්‍රදේශයක්. මෙම භූමිය අතීත‍ෙය් හඳුන්වා ඇත්තේ කහඹිලියා ගොඩහින්න කැළය ලෙසය. ප්‍රමාණයෙන් අක්කර දෙකක් පමණ වන මෙම කල්වාරි භූමියේ පාද නමස්කාර වටරවුම කොන්ක්‍රීට් කුරුසවලින් සංකේතවත් කර ඇණ ගසන ලද ජේසු ප්‍රතිමාව අඩි පහළොවක් පමණ උසකට ඉදිකර තිබෙන අන්දම දැක ගත හැකියි.

ලන්දේසි පාලන සමයේ ශ්‍රී ලංකාවේ කිතුණුවන්ට දැඩි පීඩනයක් එල්ල වූ අතර මේ සමයේ ගෝවේ සිට ලංකාවට පැමිණි ජුසේවාස් පියතුමා වාසලකෝට්ටේ ප්‍රදේශයට පැමිණි බවත් රාත්‍රියේදී හොර රහසේ ආගමික කටයුතු සිදුකළ බවටත් විශ්වාසයක් පවතී. ජුසේවාස් මණ්ඩපය ලෙස හඳුන්වන්නේ එම ස්ථානයය. ජුසේවාස් පියතුමන් විසින් සිටුවනු ලැබූ කුරුසය අදටද මෙම බිමේ දක්නට ලැබේ.

මෙම ජාතික පුදබිමෙහි සේවය කර ඇති කොංක්‍රානී බ්‍රාහ්මණ වංශයට අයත් ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා සිංහල සංස්කෘතිය කතෝලික ආගම සමඟ සම්බන්ධ කිරීමට මහඟු සේවයක් කළ බව ඉතිහාස තොරතුරු සනාථ කරයි. සිංහලයන් අතර පාරම්පරිකව පැවැති ජාතික සිරිත් ක්‍රිස්තු භක්තිකයින් අතරද ව්‍යාප්තව ඇත්තේ ද ගොන්සාල්වේල්ස් පියතුමන්ගේ කාලය තුළදීය.

කොළඹ ගෙදර කොහොඹගහ ගෙදර, බෝවත්තේ ගෙදර, සමරකෝන් ගෙදර, පිටියේ ගෙදර, වෑඋඩ ගෙදර, මිරිහැල්ලේ ගෙදර, මාත්ගමුවේ ගෙදර, මැටියම්පත ගෙදර, වහකෝට්ටේ රාළලෑ ගෙදර, තුම්පනේ ගෙදර වාසගම්වලින් වහකෝට්ටේ වැසයියන්ගේ සිංහල ජන මූලයන් අදටත් හෙළිවේ.

ඉතිහාසයක් පුරා වහකෝට්ටේ ජනතාව පෘතුගීසි පිරිස් සහ සිංහලයින් එක්ව කටයුතු කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ ඔවුන්ගේ ආගමික දර්ශනය කතෝලික වන නමුත් සමාජ දර්ශනය උඩරට සිංහල වීමය. වහකෝට්ටේ ජනතාවගේ පැහැපත් සිරුරද ඔවුන්ගේ අතීත සාධක කියාපාන්නක් බව සැලකේ.

පෞරාණික වටිනාකමක් සහිත වහකෝට්ටේ පුජනීය සිද්ධස්ථානය ශ්‍රී ලංකාවේ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිදුන්ට කැප වූ පැරණිතම දේවස්ථානයයි. වරකදී පූජා අවස්ථාවකට හාර දහසක පමණ පිරිසක් සහභාගී වීමට තරම් ඉඩ පහසුකම් එහි පවතී. ගොතික් සම්ප්‍රදාය අනුව ඉදිකොට ඇති වහකෝට්ටේ දෙව්මැදුරට විශාලත්වයෙන් සම කළ හැකි වෙනත් දෙව්මැදුරක් නැතිසේය. බාල්කයක් රහිත වහලක් සහිත මෙම ගොඩනැගිල්ලේ හරස් ලීයක් කොතැනකවත් දක්නට ලැබෙන්නේ නැත.

පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන වහකෝට්ටේ පූජනීය සිද්ධස්ථානය මුල් අදියරේදී පැවත ඇත්තේ, පොල්අතු මඩුවක් ලෙසය.

ක්‍රිස්තු වර්ෂ 1696 දී ජුසේවාස් පියතුමා විසින් මෙය තවදුරටත් ප්‍රතිසංස්කරණය කර ති‍ෙබ්. වාසලකෝට්ටේ, වසකෝට්ටේ යන නම්වලින් ද අතීතයෙහි හඳුන්වනු ලැබ ඇති වහකෝට්ටේ පුදබිම අද ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, ශුද්ධෝත්තම ශාන්ත අන්තෝනි මුණිතුමන්ට භාරහාර වූ විට පැතුම් එපරිද්දෙන්ම ඉටුවන්නේය යන විශ්වාසයක් පවතින හෙයිනි. අද පවා බෞද්ධ බැතිමතුන්ද දරු සම්පත් පතා වහකෝට්ටේ පුදබිම වෙත ඇදී එති. කතාව පමාවන ගොතගසන දරු දැරියන්ට පැහැදිලිව කතා කිරීමේ හැකියාව ලබා දෙන්නැයි භාරහාර වෙමින් පැමිණෙන පිරිස්ද බහුලව දක්නට ලැබේ. ලෙඩ දුක් කරදරවලින් මුදා පවුලට යහපත උදාකර දෙන ලෙස භාරහාර වීමට පැමිණෙන පිරිස්ද එමටය.

වහකෝට්ටේ කතෝලික පුදබිම ඓතිහාසික වටිනාකමකින්ද පෞරාණික වටිනාකමකින්ද හෙබි, පොදු ජනතාවට සෙත සලසන සිද්ධස්ථානයක් බව රමණීය වූ පරිසරයෙන්ද දර්ශනය වෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]