මුද්‍රණය සඳහා

 
සිල් නොරකින ගිහියාට දෙන දානය වටිනවා

බලු කපුටු දාන දෙනවට වඩා

සිල් නොරකින ගිහියාට දෙන දානය වටිනවා

රත්මලාන පරමධම්මචේතිය මහ පිරිවෙන් පරිවේණාධිපති රාජකීය පණ්ඩිත කරම්බන්කුලමේ සිරිධම්ම හිමි

මේ උදාවී ඇත්තේ දාන මාන ඇතුළු බොහෝ පින්කම් වැඩිපුරම සිදුවන කාලයයි. සම්බුදු තෙමඟුල අරමුණු කරගනිමින් සද්ධර්ම දේශනා මාලාවන්, දන්සල් ඇතුළු පින්කම් බොහොමයක් සිදුවන මාසය වෙසක් පොහොය යෙදෙන මැයි මාසයයි. විලාසිතාවක් හෝ චාරිත්‍රයක් ලෙසින් නොව මෙත් සිත පෙරදැරිව කුසල් වඩනා ලෙසින් දානය සිදුකරන අන්දම අද ධර්ම සභා මණ්ඩපයෙන් විග්‍රහ වෙයි.

* ස්වාමීන්වහන්ස, සම්බුදු දේශනාවේ දානය විග්‍රහ වෙන්නේ කෙසේද?

දානය යුද්ධයකට සමාන බව 'දානංච යුද්ධංච සමානමාහු' යනුවෙන් බුදුන් වහන්සේ දේශනා‍ කර තිබෙනවා. මේ කියන්නේ යුද බිමක සිදුවන යුද්ධයක් ගැන නොවෙයි. සිය චිත්ත අභ්‍යන්තරය තුළ පවතින ලෝභ, දේ‍වේශ, මෝහ ආදී අකුසල මූල නැමැති ත්‍රස්තවාදීන් සමඟ අලෝභ, අදෝස, අමෝහ නැමැති කුසල මූල ත්‍රිවිධ හමුදාපතිවරුන් කරන යුද්ධයක් ගැනයි‍.

අපට දානය නමැති උතුම් සත් ක්‍රියාව කළහැකි වන්නේ අකුසලය යටපත් කරමින් කුසල සිත ඉස්මතු කිරී‍මෙන් පමණයි. අප තිලෝගුරු බුදුරජාණන් වහනසේ බුද්ධාංකුරයන් වහන්සේ නමක ලෙස මතු බුදුබව අපේක්ෂාවෙන් පාරමී දම් පුරද්දී හඳුනාගන්නා පළමු පාරමිතා ධර්මය දාන පාරමිතාවයි. බෝසතුන්ගේ අතීත ආත්ම භවයන් පිළිබඳ දැක්වෙන ජාතක කතාවස්තුවල දාන පාරමිතාව පිරූ අන්දම පැහැදිලි වෙනවා. වෙස්සන්තර ජාතකය, සස ජාතකය ආදීය ඊට ප්‍රබල උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

භෞතික දෑ පූජාකිරීම පාරමී ලෙසද, ලේ, ඇට, මස්, ආදිය පූජා කිරීම උප පාරමී වශයෙන්ද බුදුබව ප්‍රාර්ථනා කරමින් තම ජීවිතය පවා පූජා කිරීම පරමත්‍ය පාරමී ලෙසද දානය විග්‍රහකොට තිබෙනවා. දස පාරමිතා, දස පුණ්‍යක්‍රියා සතර සංග්‍රහ වස්තු වල ද පළමු වැන්න දානයයි. ඉන් ප්‍රමුඛ වන්නේ මෙලොව පරලොව සුගතිය පිණිස දානයෙහි ඇති වැදගත් බවයි.

* දානය යනු දීමයි, එය පරිත්‍යාගයක් වගේම පූජාකිරීමක් ලෙස අවස්ථානුකූලව වෙනස් වෙනවා. ධර්මයට අනුව මෙහි වෙනස කුමක්ද?

බුදු දහමේ, පූජා බුද්ධියෙන් දන්දීම හා අනුග්‍රහ බුද්ධියෙන් දන්දීම යනුවෙන් විග්‍රහ වන්නේ එයයි. දුගී මගී යාචකාදීන්ගේ අසරණ බව දැක ඔවුන්ගේ අසරණ බව දුරුකරගැනීමට, කුසගිනි නිවා ගැනීමට යමක් ලබාදීම අනුග්‍රහ බුද්ධියෙන් දන්දීම යනුවෙන් හඳුන්වනවා.

එසේම සිල් සමාදන් වූ සිල්වතුන්ට පැවිදි වී සිටින උතුමන්ට, මාර්ගඵල ලාභී උතුමන්ට පින්පතා යමක් පූජා කිරීම පූජා බුද්ධියෙන් දන්දීමයි. මින් වඩා වැදගත් වන්නේ පූජා බුද්ධියෙන් දෙන දානයයි. නමුත් ඉන් කිසිලෙසකින් හෝ පැවසෙන්නේ නැහැ. අනුග්‍රහ බුද්ධියෙන් දෙන දානය තුළ කුසල් රැස් නොවනා බවක්. “සබ්බේ සත්ථා ආහාරට්ථිතිකා” සියලු සත්වයෝ ජීවත්වෙන්නේ ආහාරය නිසයි. තිරිසන් මනුෂ්‍යය ආදී සියලු සතුන්ට භෞතිකමය වශයෙන් ලබාදෙන දානය ආනිසංස සහිතයි.

නමුත් බුදු දහමේ වැඩි වශයෙන් අවධාරණය කරන්නේ විශාල වශයෙන් කුසල් රැස්වෙන මහත්ඵල මහානිසංස සලසෙන පූජාබුද්ධියෙන් ලබාදෙන දානය පිළිබඳයි.

* දානයක් මහත්ඵල මහානිසංස වීමට එය සිදු කළ යුතු ආකාරය කුමක්ද?

බුදු දහමේ සඳහන් පරිදි දාන මාන ආදී පින්කම් අවබෝධයෙන් සිදු කිරීම හා අනවබෝධයෙන් සිදුකිරීම දෙආකාරයි.

එමනිසා ආනිසංස සහගත වීමට නම් එය සිදු කළ යුත්තේ චිත්ත සම්පත්ති වස්තු සම්පත්ති ප්‍රතිග්‍රාහක සම්පත්ති යන සියල්ල සම්පූර්ණ වන ආකාරයටයි. චිත්ත සම්පත්තිය ලෙස හැඳින්වෙන්නේ අලෝහ , අද්වේශ, අමෝහ, යන කුසල මූලධර්මයන් මුදුන් පමුණුවා ගෙන ශ්‍රද්ධාව පෙරදැරිකරගෙන කර්මය හා කර්ම ඵලය ගැන විශ්වාසයෙන් පිරිනමන දානය පිළිබඳයි. වස්තු සම්පත්තිය යනු දානය සඳහා උපයෝගී කරගන්නා වස්තුවයි. එය තමා සතු වස්තුවක් විය යුතුයි. වැරදි ක්‍රම වලින් උපයාගත් ධනයක් නොවිය යුතුයි. ගතේ සිතේ වෙර වීරියෙන් දාඩිය මහන්සියෙන් දැහැමින් උපයාගත් වස්තුව වස්තු පාරිශුද්ධිය ලෙසින් ධර්මයේ සඳහන් වෙනවා.

ප්‍රතිග්‍රාහක සම්ප්තිය යනුවෙන් හැඳින්වෙන්නේ දානය පිළිගන්නා පිරිසයි. බුදුදහමට අනුව මෙබඳු දානයක් ලැබීමට සුදුසුම උත්තමයා මහා සංඝරත්නයයි. උන්වහන්සේලාගේ පරපුර බුදුන්වහන්සේ දක්වා අතීතයට දිව යනවා. බුදුරජාණන් වහන්සේගේ පස්වග තවුසන්, සැරියුත් මුගලන් දෑගසව්වන්, අසූමහා ශ්‍රාවකයාගෙන් වහන්සේලා ඇර‍ගෙන අතර අද ලක්දිව වැඩවසන සංඝරත්නය අරිට්ඨ මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පැවත එයි. මහා සංඝරත්නයේ ගුණය බුදුන් වහන්සේ දක්වාම බැඳෙනවා.

බුදුන් වැඩසිටි දවස මහාප්‍රජාපතී ගෝතමිය විසින් තමන් විසින්ම ගෙත්තම් කළ සිවුරක් බුදුන්වහන්සේට පූජා කළ අවස්ථාවේ , ගෝතමිය එය මට නොව ආර්ය මහා සංඝරත්නයට පූජාකරන මෙන් බුදුන්වහන්සේ දේශනා කළේ එය මහත්ඵල මහානිසංස වීමටය.

* ස්වාමීන් වහන්ස දානය දෙනු ලබන ආකාරය අනුව කුසල් අකුසල් කෙරෙහි බලපෑම් කරන්නේ කෙසේද?

බුදු දහමේ, දානය දීමේ ස්වභාවය අනුව දානය පිරිනමන්නා කොටස් 3කට වර්ග කොට ති‍ෙබනවා. දාන දාස, දාන සහයක සහ දානපති යනුවෙන් ඔහු නම් කරනු ලබනවා. යමෙක් තමන් එදිනෙදා පරිභෝජනය කරන ආහාර පාන වලටත් වඩා අඩු මට්ටමේ, පහළ මට්ටමේ යමක් දෙන්නේ ද, ඔහු දාන දාසයි. දාන සහයක යනු තම න් පරිභෝජනය කරන ‍ෙද්ට සමාන දේ පූජා කරන පුද්ගලයායි‍.

තමන් පරිභෝජනය කරනදේට වඩා උසස් ආකාරයෙන් යමක් පූජාකරයිද ඔහු දානපති යනුවෙන් හඳුන්වනු ලබනවා. බුදු දහමේ උගන්වන දානයකින් ලැබිය හැකි උසස් ආනිසංස අත්කරගත හැක්කේ දාන පති තත්ත්වයේ සිට දන්දීම තුළින්ය.

* දානය පිළිගන්වනු ලබන ආකාරය අනුව දානයේ ආනිසංස වෙනස් වන්නේද?

බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ දක්ඛිණ විභංග සූත්‍රයේ දන්දීම පිළිබඳ ඉතා සවිස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. ඊට අනුව දානයකින් ලැබිය හැකි ආනිසංස පදනම් කොට පෞද්ගලික දාන 14 ක් සහ සාංගික 7ක් ලෝක සත්ත්වයාට දේශනාකොට තිබෙනවා‍

පළමුව පෞද්ගලික දාන 14පිළිබඳ සිහිපත් කළොත් බලු කපුටු ආදී තිරිසන් සත්ත්වයන් දහසකට දෙන දානයට වඩා පංචඝී ආදී සිල් නොරකින කෘතගුන ගිහියෙකුට දෙන ආනිසංසය උසස්ය.

පංචශීලාදි සිල් නොරකින ගිහියන් දහසකට දෙන දානයට වඩා පන්සිල් රකින කෘතගුණ ගිහියකුට දෙන දානය උසස්ය. ආනිසංස සහිතය. පන්සිල් රකින ගිහියන් දහසකට දෙන දානයට වඩා දසසිල් රකින එක් ගිහියෙකුට දෙන දානය උසස්ය. එබඳු දහසකට දෙන දානයට වඩා පංචාආරිත්තො අට්ඨ සමාපත්‍යාදී එක් අයෙකුට දෙන දානය උසස්ය.

එබඳු දහසකට දෙන දානයට වඩා සෝවාන් මාර්ගයට පැවති එක පුද්ගලයෙකුට දෙන දානය උසස්ය. එබඳු දහසකට වඩා සෝවාන් ඵලයට පැමිණි එක් පුද්ගලයෙකුට දෙන දානය උසස්ය. එබඳු දහසකට දෙන දානයට වඩා සකෘදාගාමී මාර්ගයට පැමිණි එක් පුද්ගලයෙකුට දෙන දානය උසස්ය. එබඳු දහසකට දෙන දානට වඩා සකෘදාගාමී ඵලයට පැමිණි එක් පුද්ගලයෙකුට දෙන දානය උසස්ය. එවැනි පුද්ගලයන් දහසකට දෙන දානයට වඩා අනාගාමී මාර්ගයට පැමිණි පුද්ගලයෙකුට දෙන දානය උසස්ය. එබඳු දහසකට දෙන දානයට වඩා අනෙක් ඵලයට පැමිණි එක් පුද්ගලයෙකුට දෙන දානය උසස්ය. එබඳු දහ සකට දෙන දානයට වඩා මහරහත් වහන්සේ නමකට දෙන දානය උසස්ය. එබඳු දහසකට දෙන දානට වඩා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට යමක් පූජාකිරීමෙන් ලැබෙන ආනිසංස උසස්.

* එදා ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කළ දානය හා අද බුදුන්වහන්සේ වෙනුවෙන් පූජාකරන දානයේ ආනිසංස අතර වෙනසක් තිබෙනවාද?

“තිට්ඨතේ නිබ්බුතී චාපී - සමේ චිත්තේ සමං ඵලං“ ජීවනමාන බුදු රජාණන් වහන්සේගේ දෝතට, සුජාතා සිටු දේවිය, විශාඛා සිටු දේවිය, කොසොල් රජතුමා,බිම්බිසාර රජතුමා, අනේපිඬු සිටුතුමා වැනි අය යමක් පූජාකොට ආනිසංස සිදු කොට ගත්තේද බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා සිටියත් යම් අයෙක් ධාර්මිකව උපයා සපයා ගන්නා ලද දානය ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා යන පැතුමින් යුතුව පූජා කරන්නේ නම් එදා බිම්බිසාර රජුට, සුජාතාවට, අත්වුණා සේ අදත් එම ආනිසංස ඒ ආකාරයෙන්ම අත්වෙන බව ඉහත පාඨයෙන් පැවසෙනවා.

* සියලු දාන අතරින් ධර්ම දානය උතුම් වන්නේ ඇයි?

බුදුන් වහන්සේ දානය, ආමිස දානය, අභය දානය හා ධර්ම දානය යනුවෙන් තෙවදෑරුම් කොට දේශනා කොට ඇතත් ආමිස හා අභය දාන දෙකකටම වඩා ධර්ම දානය ආනිසංස දායක බව අවධාරණය කොට තිබෙනවා.

ධර්ම දේශනා කිරීම, ධර්ම දේශනාකරවීම, ධර්ම ශ්‍රවණය කිරීම, පතපොත ලිවීම, ලියවීම, ධර්ම ශාලා කිරීම, කරවීම ආදිය ධර්ම දානමය පිංකමට අයත් වෙනවා.

පුද්ගල ගුණ ධර්ම සංවර්ධනය කිරීමට මහෝපකාරී වන නිසයි ධර්ම දානයට මෙතරම් ප්‍රමුඛත්වයක් ලබාදීමට හේතුව.

විමුක්ති මාර්ගයට අවතීර්ණ වන්නට අත්‍යවශ්‍යම සාධකය වන්නේ ද ගුණධර්ම වැඩිදියුණු කිරීමයි. ඒ සඳහා පුද්ගලයකු යොමුකිරීමට ඇති ප්‍රධාන මාර්ගය ධර්ම දේශනා කිරීමයි. ධර්ම ශ්‍රවනය කිරීම ආදියයි. එහෙයින් සියළු දානයන් අතර ධර්ම දානය ශ්‍රේෂ්ඨ බව සබ්බ දානං ධම්ම දානං ජිනාතී යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කිරීමෙන් පැහැදිලි වෙනවා.

* බෞද්ධයාගේ පරම නිවීම වූ නිවන සාක්ෂාත් කරගනු පිණිසම පරලොවට හිත සුව පිණිස දාන පාරමිතාව හේතු වන්නේ කෙසේ ද?

බුදුන් වහන්සේ ලෝ සතුන්ට දේශනා කොට තිබෙනවා අටමහා කුසල් නමින් දෙවන ආත්මභාවය තුළ නිවන් සම්පත් පසක් කර දෙන කුසල කර්ම 8ක් පිළිබඳව. මේ කුසල කර්ම සියල්ලම පාහේ දානයයි.

“කඨින චීවර මහා පිංකම, අෂ්ඨ පරිෂ්කාර පූජාව, ආවාස ගෙවල් සාදා සඝසතු කොට පූජා කිරිම, බුදු පාමොක් මහා සංඝරත්නයට දක්ෂිණා පැවැත්වීම, දහම් ‍ෙපාතපත ලිවීම, ලියවීම, බුද්ධ ප්‍රතිමා කිරීම, කරවීම, වැසිකිලි කැසිකිලි සාදා සඟ සතු කොට පූජාකිරීම. මේ අට මහා කුසල කර්මයන්ට අයත් වෙනවා. යම් සත්වයෙක් සංසාරය තුළ පංචානන්තරිය පාප කර්ම සිදු නොකළහොත් දෙවන ආත්මභාවය තුළ අනිවාර්යයෙන්ම විපාක දෙන කුසල කර්ම ලෙස මෙම අට මහා කුසල කර්මයන් තථාගතයන් වහන්සේ දේශනා කොට තිබේ.

සත්ත්වයා සංසාරයේ සැරිසරන්නේ ක්ලේෂ ධර්ම දෙකක් හේතු කොට ගෙනයි. එනම් අවිද්‍යාව හා තෘෂ්ණාවයි. යමක් කෙරෙහි ඇල්ම තෘෂ්ණාවයි. දානය තුළින් තෘෂ්ණාව දුරුවෙයි. තෘෂ්ණාවෙන් නික්මීම වනාහී නිවනයි. නිවන් කරා යන ගමනේ ලෝකසත්ත්වයා පිරිය යුතු මූලික ප්‍රතිපදා ධර්මතාවයක් දානය යි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]