මහින්දගේ සහ පවුලේ වත්කම් ඩොලර් කෝටි 1800ක්

ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු අනුව

මහින්දගේ සහ පවුලේ වත්කම් ඩොලර් කෝටි 1800ක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ අයගේ වත්කම ඩොලර් කෝටි 1800ක් (රුපියල් ට්‍රිලියන 2 දශම 2ක්) බවට අන්තර්ජාතික බුද්ධි අංශ මගින් සොයා ‍ගෙන ඇති තොරතුරු අනුව සැක කෙරෙන බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසයි. ගණන් හිලව්වල නිවැරදිතාව තවම තහවුරු වී නොමැති බවත් මේ සම්බන්ධයෙන් සොයා ගෙන යන අතර ඒ සඳහා රටවල් හතරක විශේෂඥයන්ගේ තාක්ෂණික සහාය ලබා ගන්නා බවත් ඇමැතිවරයා පවසයි.

එක්සත් ජාතික පක්ෂ මූලාස්ථානය වන කෝට්ටේ සිරිකොත මන්දිරයේ ඊයේ (7) පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා මේ බව පැවසිය. මේ මුදල පරම්පරා සියයකට වුවත් ඉතා හොඳින් ජීවත් වීමට ප්‍රමාණවත් විය හැකි බව පැවසු ඇමැතිවරයා මෙවැනි වත්කමක් ඇති අය අමෙරිකාවේ සිටින්නේද හතර පස් දෙනකු පමණක් බව ද කිය.

මේ මුදල රටේ දළ දේශිය නිෂ්පාදනයෙන් හතරෙන් එකක් වන අතර සේවක අර්ථ සාධක අරමුදල මෙන් දෙගුණයක් බව කී සමරවීර මහතා රාජපක්ෂ මහතාගේ වත්කම වනුයේ රටට අහිමි වී ඇති රටේ වත්කම යැයිද කිය. මේ මුදල් බද්ධ ගිණුම් ලෙසත් වෙනත් අයගේ නම්වලට ඇති ගිණුම්වලත් විදේශිය බැංකුවල තැන්පත් කර ඇතැයිද ඩුබායි බැංකුවල තැන්පත් කර ඇති මුදල් රුපියල් බිලියන දෙකක් ලෙස දැනටමත් හඳුනා ගෙන ඇතැයිද ඇමතිවරයා කිය.

මුදල් තැන්පත් කර ඇත්තේ සොයා ගැනිමට අපහසු වන ආකාරයට වන නිසා විස්තර සොයා ගැනිම පහසු නොවන බවත් මේ ආකාරයට ඊජිප්තුව,ලිබියාව ,ටියුනිසියාව සහ නයිජිරියාව යන රටවල හිටපු නායකයන් සොරකම් කර ඇති මුදල් ඩොලර් බිලියන ගණන් වුවත් අවුරුදු ගණන් ගත වුවත් ඒවා පිළිබඳව සියලුම තොරතුරු සොයා ගැනිමට නොහැකි වි ඇති බවත් ඇමතිවරයා කිය.

ලෝකයේ බිහි වු දූෂිතම නායකයා රාජපක්ෂ මහතා බව ඔප්පු වෙමින් පවතින බව ත් රටේ ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂ පවුලේ සහ ගෝල බාලයින් කර ඇති සොරකම් පිළිබඳව සොයන ලෙස යැයිද කී සමරවිර මහතා ඒවා පිළිබඳව සොයන විට වරප්‍රසාද අහිමි වු පන්තිය එයට විරුද්ධ වන නමුත් එම පරික්ෂණ නතර නොකරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කිය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා