මුද්‍රණය සඳහා

 
කිසිවිටකත් ඉන්ධන මිල ඉහළ දමන්නේ නෑ

කිසිවිටකත් ඉන්ධන මිල ඉහළ දමන්නේ නෑ

රජය අවධාරණය කරයි.

ජනතාවට ලබාදුන් පොරොන්දු එලෙසින්ම ක්‍රියාත්මක කරමින් කිසිඳු අවස්ථාවක ඉන්ධන මිල ඉහළ නොදමන බව රජය අවධාරණය කරයි.

ඉන්ධන මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කළ එය පදනමක් නොමැති අතර රටේ ආර්ථිකය සහ ජනතාව මිස ආයතන දෙක තුනක් සම්බන්ධයෙන් වත්මන් රජය නොසිතන බවද මුදල් ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

ඉන්ධන මිල අඩුකිරීම හේතුවෙන් පාඩු සිදුවන බවට එවැනි ආයතන ප්‍රකාශ කළද නිසි කළමනාකරණයකින් යුතුව කටයුතු කරන්නේ නම් කිසිවිටෙකත් පාඩු සිදුනොවන බව පෙන්වාදෙන ඒ මහතා යම් යම් ආයතනවල පවතින අකාර්යක්ෂමතාවය හේතුවෙන් රටේ ජනතාව ඊට වන්දි ගෙවිය යුතු නැතැයි ද පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ දී ඊයේ (07) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේ අහිංසක ජනතාව වෙනුවෙන් හැමවිටම සහන ලබාදීමට රජය පියවර ගෙන තිබෙන බවත් හැකිනම් තවදුරටත් ඉන්ධන මිල ගණන් පහල දැමීම සඳහා පියවර ගන්නා බවත්ය.

තෙල් මිල ගණන් අවම කරන ලෙස පොරොන්දු වූ ආකාරයෙන් මිල ගණන් පහල දැමීමට පියවර ගත් බව සිහිපත් කළ ඇමැතිවරයා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ අකාර්යක්ෂමතාවය සහ මාෆියා නොමැති වූයේ නම් තවදුරටත් මිල ගණන් පහළ දැමීමට අවස්ථාව තිබූ බවද රටේ පාරිභෝගික ජනතාව වෙනුවෙන් හැමවිටම පෙනී සිටින බවද පැවසීය.

මේ අතර ඒ මහතා සඳහන් කළේ මේ රටේ සංචිත හොඳ මට්ටමක තිබෙන බවත් රුපියලට කිසිඳු බලපෑමක් සිදුව නොමැති බවත්ය. නව රජය බලයට පැමිණිය ද යන්ත්‍රය තුළ සිටිනුයේ පැරැණි පිරිස් ම බව පැවසූ ඒ මහතා රටේ ජනතාව වෙනුවෙන් බාධා කරන්නේ නම් එවැනි පිරිස් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද ප්‍රකාශ කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]