පෝට් සිටි නවත්වන්න

පෝට් සිටි නවත්වන්න

ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් පෙත්සමක්

කොළඹ වරාය නගර සංවර්ධන (පෝට් සිටි) ව්‍යාපෘතිය සහ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එම ව්‍යාපෘතියට අදාළව දැනට නතර කොට තිබෙන සංවර්ධන සහ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසද මේ පෙත්සම මගින් ඉල්ලා තිබේ.

සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තිය සංගමය සහ එහි සභාපති එන්. ඒ. රෝහිත ප්‍රනාන්දු විසින් මේ පෙත්සම ගොනුකර තිබේ.

නීතිපතිවරයා, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ සහ කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරාල් මංගල වික්‍රමනායක, මධ්‍යම පරිසර අධිකාරිය, පතල් හා භූ විද්‍යා කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, නාගරික සංවර්ධන කොළඹ නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි ආයතනය මෙහි වගඋත්තරකරුවෝ වෙති.

පෙත්සමේ සඳහන් පරිදි

කොළඹ ගෝල් ෆේස් පිටිය ඉදිරිපිට මුහුද පුරවා වරාය නගරයක් ඉදි කිරීම කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලැබේ. එම මුහුදු සීමාව ආශ්‍රිතව ධීවර පවුල් තිස්දහසක් පමණ ජීවිකාව කරගෙන යන බවද සඳහන් වේ.

නිසි පරිසර ඇගයීම් හෝ සක්‍යතා ඇගයීම්වලින් තොරව සිදුකර ඇති මේ ව්‍යාපෘතිය නිසි නීතිමය ක්‍රියාපටිපාටියට පරිබාහිරව සිදු කර ඇතැයි ද සඳහන් කර ඇත. එම ව්‍යාපෘතිය සඳහා ගොඩකරන ලද හෙක්ටයාර 120ක මුහුදු ප්‍රමාණයක් සහිත හෙක්ටයාර 325ක භූමි ප්‍රමාණයක් යොදා ගන්නා බව දැක්වේ. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් බවට 2010දී කරන ලද සක්‍යතා අධ්‍යයනයක් අනුව ඇස්තමේන්තු ගත කර තිබේ. එවැනි මුදලක් වැය කර ඉදිකරනු මෙම නගරය 99 අවුරුද්දක් බද්දක් යටතේ චීන සමාගමකට පැවරෙන බව පෙත්සමෙහි දැක්වේ. මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලය විසින් ද අනුමත කර ඇති බවට පැවසුන ද මුහුද පිරවීමට හෝ විදෙස් සමාගමකට එවැනි කටයුත්තක් කිරීමට අනුමැතියක් ලබාදීම කළ නොහැකිය. එසේම රටක් සතු ඉඩම් ප්‍රමාණය හෝ අලුතින් ගොඩකරන ගොඩබිමක් විදෙස් සමාගමකට ලබාදීමේ හැකියාවක් නැතැයිද එය මහජන දේපළ අයථා පරිහරණය කිරීමක් බව ද සඳහන් වේ.

එසේම මෙම ව්‍යාපෘතිය නිසා මුහුදු වෙරළ, මත්ස්‍ය සම්පත, කොරල්පර, මුහුදු ජීවින් ඇතුළු පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවේ. එසේම ධීවර කර්මාන්තයෙන් සිය ජීවිකාව කරගත් ධීවර පවුල් රැසකට ජීවිකාව අහිමිවීමේ අවදානම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව ද සඳහන් වේ. නිසි නීතිමය කරුණු සම්පූර්ණ කිරීමකින් තොරව සිදු කරන මෙම ව්‍යාපෘතිය නිසා මෙරට ජාතික ආර්ථිකයට, ස්වභාවික පරිසරයට මෙන්ම මෙරට ජනතාවට ද පිරිමැසිය නොහැකි බරපතළ හානියක් වන බව පෙත්සමෙහි දැක්වේ. එබැවින් එම ව්‍යාපෘතිය සහ එහි ඉදිකිරීම් වහාම අත්හිටුවන ලෙසද, එම කටයුතු මුළුමනින්ම නවතා දමන ලෙසද පෙත්සම මගින් ඉල්ලා තිබේ. එසේම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන්ට පොදු දේපළ අයථා පරිහරණය කිරීමේ වරද කර ඇති බැවින් අපරාධ පරීක්ෂණයක් සිදු කර අපරාධ නීතිය යටතේ එම බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද පෙත්සම මගින් ඉල්ලා ඇත. එසේම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ සියලු ඇගයීම් ඇතුළු සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි පෙත්සම මගින් ඉල්ලා තිබේ. නීතිඥ ලිලන්ති ද සිලවා මෙනවිය මගින් මේ පෙත්සම ගොනු කර තිබුණි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා