සාකච්ඡාවට ගියේ කිසිවක් ඉල්ලන්න නොවේ

සාකච්ඡාවට ගියේ කිසිවක් ඉල්ලන්න නොවේ

හිටපු ජනාධිපති කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය උදෙසා මිස කිසිවක් ඉල්ලීම සඳහා තමා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට සහභාගී නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තමා මේ සාකච්ඡාවට එකඟ වූයේ මහා සංඝරත්නය සහ හිටපු ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි බව පැවසූ රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව ඉතා සුහද ආකාරයෙන් පැවැත්වුණු බව පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැති සාකච්ඡා කිහිපයකට සහභාගී වීමට ඊයේ (07) පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

එම සාකච්ඡාව දිගින් දිගට පවත්වාගෙන යාමට දෙපාර්ශවය එකඟ වූ බවත් සාකච්ඡාවේ සාර්ථක අසාර්ථකභාවය බැලීමට නම් සාකච්ඡා ඉදිරියටත් පැවැත්විය යුතු බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන විසුරුවා හැරීම ගැනත් මෙහි දී සාකච්ඡා කෙරුණු බව පැවසූ රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන විසුරුවා හරින්නේ නම් මැතිවරණයක් පැවැත්විය යුතු බවත් එසේ නොමැති නම් අනිවාර්යෙන් කාලය දීර්ඝ කළ යුතු බවත් පැවසීය. එම ආයතනවල කාලය දීර්ඝ කිරීමට රජය කලින් එකඟතාව පළ කළ බව කී රාජපක්ෂ මහතා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පළාත් පාලන නියෝජිතයන් 12 වැනි දා කොළඹ පැමිණීමට තීරණය කර ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා