මුද්‍රණය සඳහා

 
ක්‍රීඩකයකු ළඟ තිබූ අධිබලැති යතුරු පැදි පොලිස් අත්අඩංගුවට

ක්‍රීඩකයකු ළඟ තිබූ අධිබලැති යතුරු පැදි පොලිස් අත්අඩංගුවට

මෝටර් රථ කොමසාරිස්ට සහ රස පරීක්ෂකට තොරතුරු සපයන්න නියෝග

උතුරු කළුතර සංචාරක හෝටලයක් අසලදී දකුණු කළුතර පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ යතුරු පැදි ක්‍රීඩකයකු සතු එකම ආකාරයේ අධිබලැති යතුරු පැදි දෙක පිළිබඳව පැවැත්වෙන පොලිස් පරීක්ෂණවලට අවශ්‍ය තොරතුරු සපයන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට හා රස පරීක්ෂකවරයාට නියම කළේය.

අංක ඩී.ඒ.එන්. 1717 දරන එකම අංකයෙන් යුතු යතුරු පැදි දෙකේ චැසි අංක සූක්ෂම ලෙස මකා දමා ඇති බවත් ඒවා හිතවතකුගෙන් තමාට ලැබුණු බව හිමිකරු ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව කළුතර දකුණු පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරුන් වන වීරප්පෙරුම (36342) හා සොයිසා (27026) යන මහත්වරුන් විසින් මෙම යතුර පැදි අත්අඩංගුවට ගෙන ඇති අතර අධි ධාරිතාවයෙන් යුතු යතුරු පැදි ලංකාවට ගෙන ආවේ කෙසේද යන්න පිළිබඳ ලංකාවේ ඒවා ධාවනයට අවසර ලබාගෙන ඇද්ද යන්න පිළිබඳව පුළුල් පර්යේෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු සහ කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත දකුණු කළුතර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කැළුම් සිල්වා හා සැරයන් (36342) වීරප්පෙරුම යන මහත්වරුන් විසින් මෙහිදී අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]