පාපන්දු නිලවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ට විරෝධතා

තනතුරු 11කට නාමයෝජනා 37ක්

පාපන්දු නිලවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ට විරෝධතා

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තනතුරු 11ක් වෙනුවෙන් නාමයෝජනා 37ක් ඉදිරිපත් වෙයි. මේ නාමයෝජනා සියල්ලටම එක් එක් පාර්ශව විරෝධතා ‍ඉදිරිපත් කිරීම හේතුවෙන් නාමයෝජනා පරීක්ෂා කළ ඊයේ දිනයේ පාපන්දු නිවහන උණුසුම් ස්වරූපයක් ඉසිලුහ. මේ විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිඥවරු හයදෙනකු නාමයෝජනා පරීක්ෂා කළ නිලධාරී මණ්ඩලය ඉදිරියේ පෙනී සිටීම කැපී පෙණෙන සිදුවීමක් විය.

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණ ඉතිහාසයේ විවෘත ඡන්ද විමසීමක් පවත්වනුයේ වසර 19කට පසුව වීම මේ උණුසුම් තත්ත්වය හටගැනීමට ප්‍රධාන හේතුවක්වී තිබේ. වසර 1996න් පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නිලධාරීන්ගේ එකඟතාවමත ඡන්දයකින් තොරවම හුවමාරු කරගත්තද වත්මන් සභාපති රංජිත් රුද්‍රිගු මහතා පාපන්දු නිලධාරීන් තෝරා පත්කර ගැනීම විවෘත කිරීමට තීරණය කළේය.

ඒ සමගම වත්මන් පාපන්දු සභාපතිවරයා, ලේකම්වරයා ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරීන් සියලු දෙනාට වසර හතරේ නීතිය බලපෑම හේතුවෙන් නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවද අහිමිවී ගියහ. මෙවර පාපන්දු සභාපති තනතුර සිවුකොන් සටනක් බවට පත්ව තිබේ. එම තනතුරට අනුර ද සිල්වා, කේ.පී.පී.පතිරණ, නිමල් වික්‍රමතුංග හා රුමී පකීර් අලී යන මහත්වරු නාමයෝජනා භාරදී ඇති අතර එක් එක් පාර්ශව චෝදනා ගොණුකර තිබුණි.

පාපන්දු නිලවරණයට නාමයෝජනා දුන් නිලධාරීන්ට එරෙහි චෝදනා අද පස්වරු 2.00 වනතුරු භාරගන්නා අතර නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබන සඳුදා පස්වරු 4.00ට සිදු වේ. චෝදනාවලට ලක්වන පාර්ශව ලබාදෙන පිළිතුරු පිළිබඳ සැහීමකට පත්නොවී එකඟතාවකට එළැඹීමට අපොහොසත් වුවහොත් සියලු විරෝධතා විශේෂ විධායක කමිටු රැස්වීමකට යොමු කෙරෙනු ඇත. එහිදී එම විරෝධතා පිළිගැනීම හෝ නොපිළිගැනීම විධායක කමිටු සාමාජිකයන්ගේ වැඩි ඡන්දයෙන් තීරණය කිරීමට නියමිතය. පාපන්දු ලේකම් තනතුරටද සිවුදෙනකු තරග කරන අතර බාලේන්ද්‍ර ඇන්තනී, නලීන් සිල්වා, ක්ලෙමන්ට් සිල්වා හා රෝහිත ප්‍රනාන්දු අතර උණුසුම් සටනක් නිර්මාණයවී තිබේ.

උප සභාපති තනතුරු 5කට 14ක් නාමයෝජනාදී ඇති අතර අනෙක් සියලුම තනතුරුවලටද උණුසුම් තරගයක් පවතී‍.

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ වත්මන් සභාපතිවරයාගේ ස‍හයෝගය මත එක් පාර්ශවයක් නිලවරණයට ඉදිරිපත්ව ඇති අතර චෝදනා ගණනාවකට ලක්වූ හිටපු සභාපතිවරයෙකුද තවත් පාර්ශවයකට තිරෙන් පිටුපස සිට සහය පළකරමින් සිටින බව වාර්තා වේ.

නිලවරණය මේ මස 23වැනිදා පාපන්දු නිවහනේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නාමයෝජනා මෙසේය. සභාපති (තනතුරු 1)-අනුර ද සිල්වා, කේ.පී.පී.පතිරණ, නිමල් වික්‍රමතුංග, රුමී පකීර් අලී

ලේකම් (තනතුරු 1)-බාලේන්ද්‍ර ඇන්තනී, නලීන් සිල්වා, ක්ලෙමන්ට් සිල්වා, රෝහිත ප්‍රනාන්දු

උප සභාපති (තනතුරු 5)-සනරාන් සිංහවංශ, කේ.යෝගරත්න, නලීන් සිල්වා, බ්‍රිගේඩියර් ධම්මික කාරියවසම්, කේ.පී.පී.පතිරණ, රොබට් පීරිස්, නිමල් වික්‍රමතුංග, එස්.ඇන්තනී පිල්ලේ, වාසලිංගම් මහේන්ද්‍රන්, ඒ.ජී.සුනිල්, තුවාන් කාසීම්, කාසන් මපුර්, ඇන්ටන් ඩේවිඩ්සන්, එම්.අයි.මුතාලිෆ්

උප ලේකම් පාලන (තනතුරු 1)-ජගත් රෝහණ, නිමල් වික්‍රමතුංග, යු.එල්.ජස්වර්, ජී.ජී.පී.පීරිස්

උප ලේකම් තාක්ෂණ (තනතුරු 1)-එම්.එස්.එම්.ෆාහීස්, ජී.එච්.එච්.අහමඩීන්

භාණ්ඩාගාරික (තනතුරු 1)-එස්.ආර්.නවරත්නම්, එම්.එස්.එම්.ෆස්ලාන්, යු.එල්.ජස්වර්, යු.එම්.පෙරේරා, ප්‍රගීත් නිරෝෂන් විජේතිලක

උප භාණ්ඩාගාරික (තනතුරු 1)- එම්.එච්.මොහොමඩ් ෆස්ලාන්, සාගර පියතිලක, එන්.නිමලදාසන්, යු.එන්.පෙරේරා

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා