සාන්ත පීතර අද කන්නන්ගර හමුවෙයි

අන්තර් පාසල් අවුරුදු 20න් පහළ රගර්

සාන්ත පීතර අද කන්නන්ගර හමුවෙයි

අන්තර් පාසල් අවුරුදු 20න් පහළ පළමු කොටසේ සිංගර් ලීග් රගර් තරගාවලියේ පස්වැනි වටය ආරම්භ කරමින් ‘ඒ’ කාණ්ඩයේ සිවුවැනි තැන පසුවන සාන්ත පීතර විදුහල් කණ්ඩායම අද (8) පස්වරුවේ සිය විදුහල් පිටියේ දී සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විදුහල් පිල සමග තරග බිමට පිවිසෙයි. මෙතෙක් පැවැති තරග 4න් තරග 2ක් ජයගත් කෙවින් ඩික්සන්ගේ නායකත්වයෙන් යුතු සාන්ත පීතර විදුහල් පිල ඉතිරි තරග දෙක පරාජයට පත්විය. ‘ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවන මාධව සත්සරගේ නායකත්වයෙන් යුතු කන්නන්ගර විදුහල් පිල මෙතෙක් සහභාගි වූ තරග 4ම පරාජයට පත්ව සිටී.

වෙසක් උත්සවය හේතුවෙන් පසුගිය සති අන්තයේ පාසල් රගර් පිටියට විවේකයක් ලැබී තිබූ අතර ඊට පෙර සතියේ පැවැති සිවුවැනි වටයේ තරගවල දී ඉසිපතන විදුහල් පිල සමග පැවැති තරගයෙන් සාන්ත පීතර විදුහල් පිල ලකුණු 20-18කින් පරාජය වූ අතර ලකුණු 61-0කින් වෙස්ලි විදුහල හමුවේ කන්නන්ගර විදුහල් පිල පරාජයට පත්විය.

මේ අතර මෙතෙක් පැවැති තරග 4ම ජයගනිමින් අපරාජිතව ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ පසුවන ඉසිපතන විදුහල් පිල ලබන 10 වැනිදා කිංග්ස්වුඩ් විදුහල් පිල සමග බෝගම්බර පිටියේ දී තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලියේ ආරම්භයේ සිටම විශිෂ්ට දස්කම් දක්වමින් සිටින ඕමල්ක ගුණරත්නගේ නායකත්වයෙන් යුතු ඉසිපතනය ප්‍රසාද ලකුණු 22ක් ලබා සිටින අතර ප්‍රසාද ලකුණු 14.5ක් ලබා තුන්වැනි ස්ථානයේ පසුවන කිංග්ස්වුඩ් පිල මෙතෙක් පැවැති තරග 4න් 2ක් ජයගත් අතර ඉතිරි තරග දෙක පරාජයට පත්විය.

‘බී’ කාණ්ඩයේ සිවුවැනි හා පස්වැනි ස්ථානවල පසුවන සාන්ත අන්තෝනි හා සාන්ත තෝමස් විදුහල් අතර තරගය අනිද්දා (9) නිත්තවෙල පිටියේ දී පැවැත්වෙන අතර ධර්මරාජ - විද්‍යා විදුහල් අතර තරගය එදිනම බෝගම්බර පිටියේ දී පැවැත්වේ. මේ අතර ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටින සාන්ත ජෝශප් විදුහල් පිල සහ පස්වැනි තැන රැඳී සිටින වෙස්ලි විදුහල් පිල අතර තරගය ද එදින පස්වරුවේ සී.ආර්.පිටියේ දී පැවැත්වීමට නියමිතය.

ඩී.එස්. - මහනාම තරගය අද

මේ අතර දෙවැනි කොටසේ රගර් තරගාවලියේ ඩී‍.එස්.සේනානායක විදුහල් පිල සහ කොළඹ මහනාම විදුහල් පිල අතර තරගය අද (8) පස්වරු සී‍.ආර්.පිටියේ දී පැවැත්වේ. එම තරගයට සමගාමීව දෙවිදුහලේ කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ තරග පස්වරු 1.30 සිට පැවැත්වීමට නියමිතය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා