මුද්‍රණය සඳහා

 
බ්‍රිතාන්‍යයටත් සුළුතර රජයක් ?

බ්‍රිතාන්‍යයටත් සුළුතර රජයක් ?

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය ඊයේ (බ්‍රහස්පතින්දා) පැවැත්විණි. මෙය පරම්පරා ගණනකින් අනතුරුව බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ඉතාම තියුණු තරගයක් පැවැති මහ මැතිවරණය ලෙස වාර්තාගත වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති. කිසිදු පක්ෂයකට මැතිවරණයේදී බහුතර බලයක් හිමි නොවනු ඇති හෙයින්1974න් අනතුරුව බ්‍රිතාන්‍යයේ ප්‍රථම වරට සුළුතර රජයක් බිහිවනු ඇතැයි විශ්වාස කෙරේ. එමනිසා බ්‍රිතාන්‍යයේ නව රජය බිහිවීමට දින කිහිපයක් බලා සිටීමට සිදුවනු ඇත.

2010 සිට බ්‍රිතාන්‍ය පාලනය කළ ඩේවිඩ් කැමරන්ගේ මධ්‍යස්ත දක්ෂිණාංශික සභාග රජය තවදුරටත් බලයේ රැඳී සිටීමට ප්‍රයත්නයක යෙදී සිටී. කෙසේවෙතත් අවසන් මත විමසුම් ප්‍රථිඵල අනුව එඩ් මිලි බෑන්ඩ්ගේ මධ්‍යස්ත වාමාංශික පක්ෂයෙන් කැමරන්ට දැඩි තරගයක්ට එල්ල වනු ඇතැයි අනාවැකි පළ වේ. රට පුරා පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන වලදී මිලියන් සංඛ්‍යාත බ්‍රිතාන්‍ය ඡන්දදායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. අද දින රාත්‍රියේ සිට ඡන්ද ප්‍රථිඵල නිකුත් වීමට නියමිත අතර අවසාන ප්‍රථිඵල නිකුත් කිරීමට බලාපොරොත්තුවන්නේ සිකුරාදායි.

එකදු පක්ෂයකටවත් ආසන 650කින් යුත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි නොවනු ඇති හෙයින් ආසන 326ක් දිනා ගැනිමට සුළු පක්ෂ සමඟ සති ගණනාවක් සාකච්ඡා කිරීමට සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ. උතුරු දේශ සීමාවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමේ අවස්ථාව ඇතැයි විශ්වාස කෙරෙන ස්කොට් නැෂනල් පක්ෂයට මෙහිදී වැඩිම බලපෑම සිදු කළ හැකි බවට විශ්වාස කෙරේ. ඊට අමතරව ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ද සභාග රජයක් පිහිටු වීමේ සාකච්ඡාවල වැදගත් කාර්ය භාරයක් ඉටු කළ හැකි වනු ඇතැයි ද වාර්තා වේ. නික් ක්ලෙග් ගේ පක්ෂය කොන්සර්වටිව් පක්ෂයට සහාය දීමට වැඩි නැඹුරුවක් දැක්වුවත් ඔහුගේ පක්ෂයට ආසන දිනා ගැනීමේ හැකියාව අඩු බව සඳහන්ය.

කොන්සර්වටිව් හෝ ලේබර් යන පක්ෂ දෙකින් කවරක් රජය පිහිටුවත් මැයි 27 දින පැවැත් වීමට නියමිත රාජාසන කතාවේදී නව රජයට ප්‍රබල අභියෝගයකට මහුණ දීමට සිදුවනු ඇත. මේ අතර ජාත්‍යන්තරයේ බ්‍රිතාන්‍යයට හිමි වන ස්ථානය පිළිබඳ ව ද මෙම මැතිවරණය තීරණාත්මක සාධකයක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]