කියුබා මුහුදේ තෙල් ගවේෂණයට අමෙරිකා සමාගම් අදිමදි කරලා

කියුබා මුහුදේ තෙල් ගවේෂණයට අමෙරිකා සමාගම් අදිමදි කරලා

කියුබාව හා එක්සත් ජනපදය අතර සබඳතා තහවුරු වීමේ තවත් සලකුණක් පිළිබිඹු කරමින් කියුබාවේ ගැඹුරු මූදු තෙල් සම්පත් උකහාගැනීම සඳහා අමෙරිකාව සමඟ හවුල් වැඩපිළිවෙළකට එළැඹීමේ හැකියාව පිළිබඳ තාක්ෂණික තොරතුරු කියුබානු බලධාරීන් විසින් ප්‍රථම වරට පෙරේදා එක්සත් ජනපද විශේෂඥයන් වෙත ඉදිරිපත් කර තිබේ.

එහෙත් මේ දක්වා කිසිදු අමෙරිකානු තෙල් සමාගමක් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පෙන්වා නැතැයි කියුබා පෙට්‍රෝලියෝ රාජ්‍ය තෙල් ඒකාධිකාරයේ ප්‍රධානී පෙඩ්‍රෝ සෝසානෝ ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු තෙල් සමාගම් රැසක සහභාගිත්වයෙන් හාවානා හි පවත්නා භූ විද්‍යා සම්මන්ත්‍රණයේදීය. මේ සම්බන්ධයෙන් අමෙරිකානු තෙල් සමාගම් උදාසීන පිළිවෙතක් දක්වන්නේ ගෝලීය තෙල් වෙළෙඳපොළේ මිල පහළ යමින් පැවැතීම හා කියුබාව මත පැනවුණු අමෙරිකානු ආර්ථික සම්බාධක තවමත් මුළුමනින්ම අවසන් වී නොපැවැතීම නිසා යැයි ද ඔහු කීවේය.

අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවත්නා සම්බාධක මුළුමනින්ම ඉවත් කිරීමේ කැමැත්ත ප්‍රකාශ කර ඇතත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් කොංග්‍රස් අනුමැතිය අවශ්‍යව ඇති අතර ඒ සඳහා කාලයක් ගතවනු ඇතැයි පැවැසේ.

අතීත අධ්‍යයනයන්ට අනුව කියුබාවට අයත් මෙක්සිකෝ බොක්කේ ගැඹුරු මූදු පත්ලේ බැරල් බිලියන ගණනක තෙල් සම්පත් ඇතැයි නිගමනය වී තිබේ. එහෙත් ඒවා ලබාගැනීම පහසු නැති බව පෙනී ගොස් ඇත.

එම තෙල් සම්පත් ගවේෂණයේ යෙදුණු පාර්ශ්වයන් කීපයක්ම හිස් අතින් ආපසු ගොස් ඇති අතර වෙනිසියුලාවේ හා සෙනිගාලයේ ගවේෂණ කණ්ඩායම් කිපයක් තවමත් එම කාර්යේ නිරතව ඇත. කියුබාවේ තෙල් අවශ්‍යතාවෙන් අඩක්ම එරට නිෂ්පාදනය කරන අතර ඉතිරිය මිත්‍රශීලි වෙනිසියුලාවෙන් සහන මිලට ලබා ගනී.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා