ෆැසිස්ට් වියරුව පරදා වසර 70 යි

ෆැසිස්ට් වියරුව පරදා වසර 70 යි

නාසිවාදී ෆැසිස්ට් වියරුව පරාජය කරමින් සෝවියට් දේශය ප්‍රමුඛ මිත්‍ර හමුදා ලැබූ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයේ අභිමානවත් 70 වෙනි සංවත්සරය අදට යෙදී තිබේ. දෙවන ලෝක මහා සංග්‍රාමයේ නිමාව සලකුණු කෙරෙන ජර්මනියේ කොන්දේසි විරහිත යටත්වීම සිදුවූයේ ඊයේ වැනි දිනකයි. මානව ඉතිහාසයේ අතිශය බිහිසුණු මෙන්ම විනාශකාරී යුද්ධයක නිමාව මෙන්ම අතිමහත් ජීවිත පරිත්‍යාගයකින් පසු සිය හමුදා ලැබූ ජයග්‍රහණය අද මොස්කව් නුවර රතු චතුරස්‍රයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස සැමරේ. විජයග්‍රහණයේ සංදර්ශන පෙළපාළියෙන් අනතුරුව ජනාධිපති පුටින් අද ජාතිය අමතයි.

සුවිශේෂී සැමරුම

විජයග්‍රහණයේ සැමරුමට එක්වෙමින් ඔහු එලෙස ජාතිය අමතන්නේ 12 වෙනි වතාවටය. නාසිවාදය පරාජය කිරීමේ 70 වෙනි සංවත්සරය යෙදී තිබීම නිසා මෙවර විජයග්‍රහණයේ සැමරුම වඩාත් සුවිශේෂී වැදගත්කමක් හිමිකර ගනී. එබැවින්, අද පැවැත්වෙන එම සංදර්ශන පෙළපාළිය රුසියානු ඉතිහාසයේ දැවැන්තම අංගයක් වනු ඇති බව විචාරකයන්ගේ අදහසය. ලෝක නායකයන් ගණනාවක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතව ඇත.

අමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ජපාන නායකයන් ඊට සහභාගි නොවන බව ප්‍රකාශයට පත්ව තිබේ. අමෙරිකා, බ්‍රිතාන්‍ය නායකයන් ඊට සහභාගි වීමෙන් වැළැකී සිටින්නේ යුක්‍රේනය කෙරෙහි රුසියානු මැදිහත්වීමට විරෝධය පළකරමින් බව ද වාර්තා විය. රුසියානු “ප්‍රව්දා” පුවත්පතේ වෙබ් සංස්කරණයේ පළවූ ලිපියකින් කියැවුණේ විජයග්‍රහණයේ සැමරුමට හිට්ලර්ගේ ආධාරකරුවන් සහභාගි නොවන බවයි.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසිවාදී ෆැසිස්ට් වියරුව පරාජය කිරීම සඳහා සෝවියට් දේශය දක්වන ලද දායකත්වය හා කරන ලද කැපකිරීම කිසි ලෙසකින්වත් අවතක්සේරු කළ නොහැකිය. දෙවන ලෝක සංග්‍රාමයේදී සෝවියට් හමුදා සහ සෝවියට් වැසියන් මිලියන 26 කගේ ජීවිත අහිමි විය. විජයග්‍රහණයේ සැමරුම යෙදෙන අද දිනයේදී රුසියාව මානව සංහතිය වෙනුවෙන් ජීවිත කැප කළ එකී සියලු සෝවියට් වැසියෝ වීරයන් සේ සමරති.

දෙවන ලෝක සංග්‍රාමය 1939 සැප්තැම්බර් 1 වැනිදා ආරම්භ වී 1945 සැප්තැම්බර් 2 වැනිදා නිමාවට පත්විය. වසරකුත් එක් දිනක් එම යුද්ධය පැවතිණි. යුද්ධයේදී සතුරු කඳවුරු දෙක වූයේ ජර්මනිය ප්‍රමුඛ සතුරු අක්ෂය හා සෝවියට් දේශය ප්‍රමුඛ මිත්‍ර හමුදාවන්ය. ඉතිහාසයේ වඩාත්ම ව්‍යාප්ත වූ යුද්ධය වශයෙන් සැලකෙන්නේ ද දෙවන ලෝක සංග්‍රාමයයි. ලොව රටවල් 30 කට වැඩි ප්‍රමාණයකින් මිලියන 100 ක් දෙනා ඊට සෘජුවම සම්බන්ධ විය. නාසි වධ කඳවුරුවලදී සමූල ඝාතනයට ලක්කරන ලද සංඛ්‍යාව මිලියන 11 කි. හිරෝෂිමා - නාගසාකි බෝම්බවලින් මියගිය සංඛ්‍යාව මිලියනයක් පමණ වේ. ඉන් දරුණු ලෙස තුවාල ලැබූ සංඛ්‍යාව මිලියන 50 – 85 අතර ගණනකි. යුද්ධය නිමාවීමට ‍ඉතා ආසන්නව තිබියදී අමෙරිකාව හෙළන ලද මේ පරමාණු බෝම්බ හේතුකොටගෙන දෙවන ලෝක සංග්‍රාමය මානව ඉතිහාසයේ බිහිසුණුම මරණීය ගැටුම බවට පත් විය.

මිත්‍ර හමුදාවන්ට නායකත්වය දුන්නේ සෝවියට් දේශයේ ‍ජෝෂප් ස්ටාලින්, අමෙරිකාවේ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, බ්‍රිතාන්‍යයේ වින්ස්ටන් චර්චිල් හා චීනයේ චියැං කායි ෂෙක් ය. සතුරු අක්ෂය ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්, ජපානයේ හිරෝහිතෝ අධිරාජයා සහ ඉතාලියේ බෙනිටෝ මුසොලිනීගේ නායකත්වය යටතේ විය.

දෙවන ලෝක සංග්‍රාම‍යේදී මිත්‍ර හමුදාවල එක්කෝටි හැටලක්ෂයක් සෙබළු සිය ජීවිත දුන්හ. සතුරු අක්ෂයේ සෙබළුන්ට වූ ජීවිත හානිය අසූලක්ෂයකි. මිත්‍ර පාර්ශ්වයේ රටවල සිවිල් වැසියන් හාරකෝටි පනස්ලක්ෂයකට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ අතර සතුරු අක්ෂයට අයත් රටවල වැසියන් හතළිස් ලක්ෂයකට ජීවිත අහිමි විය. යුද්ධය සිදුවූ 8 වසරක කාලසීමාව තුළ මිත්‍ර පාර්ශ්වයට දරාගැනීමට සිදුවූ සමස්ත ජීවිත හානි හයකෝටි දසලක්ෂයක් බව ලේඛනගතව පවතී. සතුරු අක්ෂයේ සමස්ත ජීවිත හානි එක්කෝටි විසිලක්ෂයකි.

සීතල යුද්ධය

ඉහත දැක්වූයේ දෙවන ලෝක සංග්‍රාමයේ විනාශය හා බිහිසුණු බව කියාපාන තොරතුරු බිඳක් පමණි. ඒ ඔස්සේ පමණක් වුව ද එය මිනිස් වර්ගයාට අමතක නොකළ හැකි පාඩමක් ඉගැන්වූ බව පැහැදිලි කර ගත හැකිය.

නාසිවාදය පරාජය කරමින් මිත්‍ර හමුදා ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව ජපානය සහ ඉතාලි අධිරාජ්‍ය ද බිඳ වැටිණි. සෝවියට් සංගමය හා අමෙරිකා එක්සත් ජනපදය යනුවෙන් සුපිරි බලවතුන් දෙදෙනෙකු ද නිර්මාණය විය. සීතල යුද්ධය හෙවත් නිරවි යුද්ධයේ ආරම්භය ද දෙවන ලෝක සංග්‍රාම‍යේ නිමාවත් සමඟ ඇතිවිය. දෙවන ලෝක සංග්‍රාමයේදී සිදුවූ අතිමහත් ජීවිත හා දේපළ විනාශය අත්දුටු ලෝක ජාතීහු තුන්වැනි ලෝක සංග්‍රාමයක් ඇතිවීම වළක්වා ගැනීමට දරන ලද ප්‍රයත්නය එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිකර ගැනීමය.

පළමු ලෝක සංග්‍රාමයෙන් අනතුරුව දෙවැන්නක් ඇතිවීම වළකා ගැනීමට ජාතීන්ගේ සංගමය බිහිකර ගනු ලැබූවද දෙවැන්න නතර කරගත නොහැකි විය. එහෙත්, දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ගොඩනඟා ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීමට හැකි වී තිබේ. දෙවන ලෝක සංග්‍රාමයේ නිමාව සිදුවූයේ සෝවියට් සහ පෝලන්ත හමුදා බර්ලිනය අත්පත් කර ගැනීමත් සමඟය. පරාජය නියත බව දැනීමත් සමඟ භූගත බංකරයක සැඟවී සිටි ඇඩොල්ෆ් හිට්ලර්, සහකාරිය වූ ඊවා බ්‍රවුන් ද සමඟ සියදිවි හානිකර ගත්තේය. ඊට දින කිහිපයකට පසු එනම්, 1945 මැයි 8 වැනිදා ජර්මනිය කොන්දේසි විරහිතව යටත් විය.

අපකීර්තිය

යුරෝපයේ යුද්ධය මේ සමඟ නිමා වූ නමුත් ආසියාවට පැතිරී තිබූ යුද්ධය නිමාවූයේ 1945 අගෝස්තු 15 වැනිදා ජපානය යටත්වීමත් සමඟය. යුරෝපයේ යුද්ධය නිමාව දැකීම දෙවන ලෝක සංග්‍රාමය අවසන් වන බවට පැහැදිලි සලකුණක් විය. දෙවන ලෝක සංග්‍රාමය නිමාව දැකීම ලෝක ඉතිහාසයේ සන්ධිස්ථානයකි. ඉන් පසුව තවත් වැදගත් හැරවුම් ගණනාවක් ඉතිහාසයට එක්විය. සීතල යුද්ධය ඉන් එකකි. සෝවියට් දේශය හා අමෙරිකාව අවි ආයුධ සහිතව නොවුණද වසර 45 ක් තිස්සේ යුද්ධයක පැටලී සිටියේය. එය නිමාව දුටුවේ 1990 දීය. යටත් විජිත වශයෙන් පැවැති ආසියානු හා අප්‍රිකානු රටවල් යටත් විජිත ආධිපත්‍යයෙන් නිදහස් වීම ඇරැඹුණේ ද දෙවන ලෝක සංග්‍රාමය නිමාවත් සමඟය.

නාසින් විසින් අවුෂවිට්ස් ඇතුළු වධකාගාර තුළදී සිදුකරන ලද යුදෙව් සංහාර මානව ඉතිහාසයේ අතිශය අමානුෂීය මෙන්ම අපකීර්තිමත් වාර්තාවකි. ගෑස් කාමර තුළදී දවා අළු කරන ලද යුදෙව්වන් ගණනින් මිලියන 6 ඉක්මවීය. දෙවන ලෝක සංග්‍රාමයේදී සංග්‍රාමික උපාය මාර්ග මෙන්ම යුද අවි හා උපකරණ ද බෙහෙවින් දියුණු තත්ත්වයකට ළඟාවිය. අවි ආයුධ තාක්ෂණිකව දියුණු කිරීම යුද්ධයේ බිහිසුණු බව වඩාත් තීව්‍ර කළේය. එහි අතිශය බියකරු අත්දැකීම වන්නේ මිනිස් ඉතිහාසයේ පළමු පරමාණු බෝම්බ ප්‍රහාරය වාර්තා වීමයි. එය එවැනි පළමු ප්‍රහාරය මෙන්ම මේ දක්වාම අවසන් ප්‍රහාරය වීම ගැන මිනිස් වර්ගයාට සැනසුම් සුසුමක් හෙළීමට හැකිය.

විජයග්‍රහණය

මොස්කව් නුවර දී අද පැවැත්වෙන විජයග්‍රහණයේ සැමරුමට අමතරව තවත් රටවල් කිහිපයක දෙවන ලෝක සංග්‍රාමයේ නිමාව සැමරෙනු ඇත. තම යුද ශක්තිය ප්‍රදර්ශනය කරනු ලබන සංදර්ශන පෙළපාළි ආදියට අමතරව තවමත් ජීවතුන් අතර සිටින යුද වීරයන්ගේ සහභාගිත්වය ඇතිව සිදුකෙරෙන නොයෙක් වැඩසටහන් ද සංවිධාන කර තිබේ. කෙසේ වෙතත් මේ සියල්ල අතරින් වඩාත් උත්කර්ෂවත් මෙන්ම විශිෂ්ට අවස්ථාව වන්නේ මොස්කව් නුවර රතු චතුරස්‍රයේදී අද පැවැත්වෙන විජයග්‍රහණයේ සැමරුමයි.

රුසියානුවන් අද මෙන්ම හෙට ද එය සිහිපත් කරනු ඇත්තේ නාසිවාදයට එරෙහිව සිදුකළ “මහා දේශප්‍රේමී යුද්ධය” ලෙසය. විජයග්‍රහණයේ සැමරුම පිළිබඳ රුසියානු විරෝධීන්ගෙන් විවේචන තිබේ. ඒ විවේචන අතරට ඔවුන් තුළ ඇති පුටින් විරෝධය ද එකතු වී තිබේ. එහෙත්, සමස්ත මානව වර්ගයා වෙනුවෙන් සෝවියට් දේශය කරන ලද කැපකිරීම හා දෙනු ලැබූ අභීත නායකත්වය අවතක්සේරුවට ලක්කිරීමට තරම් ඒ විවේචන බලවත් විය නොහැකිය.

ෆැසිස්ට්වාදී වියරුව පරදවා ලැබූ විජයග්‍රහණය සැමරිය යුතුය. ඒ අතරම තුන්වැනි ලෝක යුද්ධයකට කිසිදු ඉඩක් නොතබන බවට අදිටන් කළ යුතුය. දෙවන ලෝක සංග්‍රාමයේදී ජීවිත දුන් අප්‍රමාණ මිනිස් සමූහයාට දැක්විය හැකි ඉහළම ගෞරවය එයයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා