හඳුන්වා දෙන වචන පිරුණු සයිබර් ටැක්සිය

හඳුන්වා දෙන වචන පිරුණු සයිබර් ටැක්සිය

poerty-dawson.blogspot.com , වචන ටැක්සි/ඊ ඒ ඩෝසන් ප්‍රීති

ටැක්සි කියන්නේ මිනිසුන් ගමන් ගන්නා ඒවාය. ඒවාට රෝද හතරක්ම තිබේ. අද වන විට ටැක්සි රෝද තුනෙන් වඩා ජනප්‍රිය වී ඇති බව අපි හැමදෙනාම දනිමු. ඒවා ටුක් ටුක් ලෙසද, ට්‍රයිෂෝ ලෙසද, ත්‍රීවිල් ලෙසද, වයසට ගිය ආච්චිලා සීයලා ලැජ්ජා ටැක්සි ලෙසද හඳුන්වන බව මම අසා ඇත්තෙමි. ඉදින් බාගෙට නිවාඩු සෙනසුරාදා හදිසියේ වයර් සහ අකුරු පිටුව කියවන ඔබට වාහන පිළිබඳ දැනුවත් කිරීමේ ලිපියක් කියවීමට මා ආරාධනා කරනවාදැයි ඔබ කලබල වී ඇති බව පෙනෙයි. නැත. මේ වෙනත් ආකාරයක ටැක්සියක් පිළිබඳයි. භෞතිකව වාහනයක් නොවන, අභෞතිකව වාහනයක් වන අලුත්ම මාදිලියේ ටැක්සියක් පිළිබඳයි.

මේ ටැක්සිය සෑදි ඇත්තේ, සයිබර් අවකාශයේ ය. ඔබට ටැක්සිය දැකීමට අවශ්‍ය නම් මුලින්ම Search Engine හරහා එය සොයාගත යුතුය. එයට Url කෝඩය ලිවීමට අවශ්‍ය තැන ඔබ මෙසේ සටහන් කළ යුතුය. http://poerty-dawson.blogspot.com මේ අකුරු සටහන් කර, Enter බොත්තම මත සිදු කරන කුඩා තෙරපුමකින්, ඔබට ඒ සොඳුරු අඩවියට පිවිසීමට හැකිය.

ඔබ සූදානම් නම්, ඔබට මේ විද්‍යුත් ටැක්සියට නැගිය හැකිය. මේ ටැක්සියේ ගෙන යන්නේ වචන ය. සිතක සටහන් වන, පිටාර ගලන හිතුවක්කාර වචන ය. ඒ වචනවල හිමිකරුවා ඩෝසන් ප්‍රීති ය.

එහි සමහර ලියවිලි බොහෝම කුඩාය. සමහර ලියවිලි සුවිසල් ය. ඒ සුවිසල් ලියවිලි අතර සිය සිතිවිලි හිර නොකර මුදා හරින්නට ඩෝසන් ප්‍රීති සමත් වී ඇති අපූරුව නම් කියවා බැලීමට ම වටින්නේය. ඩෝසන් ගේ වචන ටැක්සිය හරහා කලා නිර්මාණ පිළිබඳ සිය කුහක නොවන විචාරයන් සයිබරයට මුදා හරී.

“සැබැවින්ම ලංකාවේ ගත කළ කාලය රමණීය සොඳුරු අතීතයක් බවට පත්ව ඇත්තේ වත්මන ට සාපේක්ෂව විය යුතුය. මන්ද යත් ලංකාවේ අතීතය හෝ වර්තමානය හෝ කිසිවෙකු වෙත කිසිදු රමණීයත්වයක්, සෞන්දර්යයක් කිසි කලෙකවත් නොපිදූ හෙයිනි. එනම් මේ මවන්නා වූ ලාංකීය සෞන්දර්යය කවියට උචිත හෝ සීමා වන දෙයක් බැවිනි. යථාර්ථයට නම් එලෙස කිසිවක් හසු නොවන බැවිනි.

මින් අනුමාන වන කරුණ නම් විදේශයක නැංගුරම් ලන ලාංකිකයෙකුට සිය මනෝ ලෝකය උඩුයටිකුරු කර ගන්නවා හැර වෙන විකල්පයක් එහි පැවැත්ම සාදා ගැනීමට නොහැකි බවයි. මීට සමීප හෝ දුරස්ථ උදාහරණ ලෙස ඕස්ට්‍රේලියාවේම වෙසෙන සුනිල් ගෝවින්න හෝ ජගත් එදිරිසිංහ හෝ රසික සූරියාරච්චි යන කවියන්ගේ නිර්මාණ හරහා ද පොදුවේ මතුවන බැව් සටහන් කළ හැකිය. සුනිල් ගෝවින්නයන් සිය නොස්ටැල්ජික ස්මරණයන් ඔස්සේ සිය කාව්‍ය නිර්මාණ අඛණ්ඩව පවත්වා ගෙන යන්නෙකි. ඔහුට ඉන් කිසිදු ගැලවීමක් ලද නොහැකි බැව් මගේ අදහසයි.

ජගත් එදිරිසිංහගේ කාව්‍ය නිර්මාණ වඩාත් සමාජ අද්දැකීම් සහ ප්‍රේමය උදෙසා සමතුලනයක පවත්වා ගෙන යාමට සමත් නිරෝගී නිර්මාණශීලිත්වයක් නඩත්තු කරමින් සිටියි. රසික සූරියාරච්චි එලෙස කෙටි වැකියට හැකිලිය නොහැකි තරම් පැතිරුණු නිර්මාණකරනයක නියැලී සිටියි.

මේ සියල්ල ගේ පොදු ඇනෝනිමසීය පාඨකයා වෙසෙන්නේ සිංහල ලියන- කියවන- කතා කරන යථාර්ථය ලෙස පරිපීඩිත වූ ශ්‍රී ලාංකීය මිනිස් වටයේය.”

-සුදු කතක් සහ මදු විතක් සහ දෙලොවක් අතර කවි (විචාරය) - ඩෝසන් ප්‍රීති

ඩෝසන් හෙවත් මේ වියුණු සටහනේ ලියන්නා සිය සෑම ලිපියක්ම පාහේ ලේබල් ගත කරයි. වැඩිමනත් ලිපි ඇම්බියුලන්ස් යටතේ ලියා තිබීම, තවත් විශේෂත්වයකි. වියුණු සටහන්වල සාමාන්‍ය වශයෙන් පවතින, සරල කතා රීතීයෙන් ඔබ්බට යමින් කියවන්නාට යමක් ලබා දීමට උත්සාහ කිරීම මෙහි කතුවරයාගේ අරමුණ බව එය කියවන ඕනෑම අයෙකුට හැඟීයයි. 2007 වසරේ කවියකින් ඇරඹී අද දක්වාම වසර අටකට ආසන්නව තවමත් රැඳී තිබීම ම මේ වියුණු සටහන ඔබ වෙත ගෙන ඒමට තරම් විශේෂ කරුණක් වූ බව මතක් කළ යුතුමයි. දේශපාලනය, සංස්කෘතිය, කලාව , ආර්ථිකය ආදී මිනිස් සත්වයා කුටුම්භය නැමති කුඩාම ඒකකයේ සිට, මහා සමාජය දක්වා බැඳ තබන සියලුම බන්ධනයන් ගැන සිය දර්ශනය ජීවන අත්දැකීම් ඇසුරෙන් එළිපෙහෙළි කිරීමට මෙම වියුණු සටහන ලියන්නා දක්වන හැකියාව සැබවින්ම ප්‍රශංසනීයය.

අන්තර්ජාලයේ හරබර යමක් කියවීමට හෝ අනෙකෙකුගේ දර්ශනයක් පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය අයෙකුට මෙවන් කැටගරියේ වියුණු සටහන් කියවීම නොබියව නිර්දේශ කළ හැකිය.

ඔහුගේ ලියවි හුදෙක් ගද්‍ය ආඛ්‍යානයක්ට ම සීමා වී නැත. එමෙන්ම සැමවිටම බරපතල දේවල් කෙරෙහිම පමණක්ද යොමු වී නැත. තමන් ලිපිය සකස් කිරීම සඳහා යොදා ගන්නා ආනුභූතිය හැකි සෑම විටම සිය ජීවිතයට බද්ධ කර ගැනීමට ඩෝසන් ප්‍රීති හෙවත් වචන ටැක්සියේ හිමිකරුවා අපමණ උත්සාහයක යෙදෙයි.

“නිරාෂ ද මා මෙන්ම විදෙස්ගතව මානසික ශ්‍රමය වගුරා ජීවිතය ගැට ගසාගැනීමේ එකම ආදායම් මාර්ගය ලෙස වැටුපකට වැඩ කරන ශ්‍රමිකයෙකි; කම්කරුවෙකි. එනිසාවෙන් නිරාෂත් මාත් කම්කරුවන් ට පොදු වූ සියලු ප්‍රශ්නයන්හි ගිලී, පවත්නා ක්‍රමයේ - පද්ධතියේ සූක්ෂම ගැටවලින් හිර වී, මිරිකී ජීවිතය විඳින්නට, විඳ ගන්නට මොහොතක් උදාකර ගැනීමේ අනවරත උත්සහයේ යෙදෙමින් සිටින්නෝ වෙති. ඉතිං අපට ඒ බඳු මොහොතක් උදා වන්නේ මේ වැනි කෘතියක් මුල සිට අගට කියවා ගන්නට තරම් හෝ ඉස්පාසුවක් ලද මොහොතක යැයි මට හැඟේ.”

-සුදු කතක් සහ මදු විතක් සහ දෙලොවක් අතර කවි (විචාරය) - ඩෝසන් ප්‍රීති

එසේනම් ඔබ වචන ටැක්සියට පිවිසීමටත්, එහි ලිපි කියවීමටත් සූදානම් ඇති බවට සැකයක් නැත. පෙනෙන සහ දකින විදිහට මෙවන් ලේඛකයෝ වචනවලට බොහෝ ප්‍රිය කරති. එබැවින් ඔවුන් කුලී ඉල්ලන්නේද වචනවලිනි. කරුණාකර වචනවලින් කුලිය තබා , ටැක්සිය හයර් කරන්නේ නම් මැනවි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා