ලොකුවට බොරු කීමේ අන්තර්ජාල කලාව

ලොකුවට බොරු කීමේ අන්තර්ජාල කලාව

“සයිබොරුකාරයා” යන නම ගම්වල යෙදෙන්නේ ලොකුවටම බොරු කියන්නන් උදෙසා ය. සයිබොරුකාරයන් ට ඕනෑ තරම් බොරු කිව හැකිය. ඇතැම් බොරු, බොරු ම බව අසන්නන් ඇස් පනාපිට ඔප්පු වෙද්දී ම, බොරුවේ ඉතිරි ටිකත් දෙසාබෑම සයිබොරුකාරයාට නොකළ හැක්කක් නොවේ.සයිබොරුකාරයන්ගේ” සයිබොරුවලට අහුවෙන්නන් ද මේ කියන්නේ මහා බොරුවක් බව ඇතැම් විට මුල සිටම දැන සිටිති. එහෙත්, ඔවුන්ටද, “අහුවෙන්නට හිතෙන තරමට ම” රසවත්ව මේ බොරුව ගෙනයාමට “සයිබොරුකාරයන් “ නිර්මාණශීලීය.

බොරුව ලොව ඕනෑම තැනකට පොදු වන්නාක් සේම, සයිබරයටත් බොරුව පොදු ය. ලොව අස්සක් මුල්ලක් නෑර අන්තර්ජාලය ව්‍යාප්ත වීමත් සමඟ, මේ “සයිබොරුවනුත්” ජාලගත වූහ. දත්ත සඳහා වැයවන සුළු මුදලට නො සරිලන තරමේ මහා පරිමාණ බොරු, උපරිම නිර්මාණශීලීත්වයකින් ද යුක්තව සමාජගත කිරීමට ඇත්තටම මහන්සි වන මේ පිරිස නිසා, දෛනිකව මුලාවේ වැටෙන්නන්ගේ ගණන සුළුපටු නොවේ.

කොපමණ විචාරශීලී අයෙකුට වුවද සම්පුර්ණයෙන්ම ගැලවී සිටිය නොහැකි තරමට, මේ ජාලගත බොරුකාරයන් සුක්ෂම ය. ප්‍රසිද්ධ පුද්ගලයන් අලලා ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම, රටේ කතාබහට ලක්වන පුවතක ආන්දෝලනාත්මක නැම්මක්, ප්‍රධාන ධාරාවේ සිදුවීමක අප්‍රධාන කොටසක් ඉලක්ක කොටගෙන නිර්මාණශීලී මෙන්ම ඇදහිය හැකි මට්ටමේ සාක්ෂි ද සහිත කතාන්දරයක් සම්පාදනය කිරීම සයිබර් බොරු අතර ඉතාමත් සුලභ ය.

සයිබර් බොරු කීම ද කලාවකි. රස්සාවකි. ඇතැම් ආයතන නිල නාමයක් රහිත, එහෙත් වැටුප් සහිත තනතුරක් ලෙස සයිබර් බොරුකාරයන් සේවයේ යොදවති. ඒ වැඩිමනක් ම, තමන් හා තරඟ වදින ආයතනවලට “හොඳ තරඟයක්” දීමේ අරමුණින්, එකී තරඟකාරී ආයතනවල විශ්වසනීයත්වයට හානි කිරීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ය.

තවත් ආයතන මේ සයිබර් බොරු උපයෝගී කරගන්නේ උපරිම නිර්මාණශීලීත්වය සහිත ව, වැඩි පාරිභෝගිකයන් පිරිසකගේ අවධානය දිනාගැනීම උදෙසා ය. එමෙන් ම ආකර්ශනීය තේමාවකින් යුතු වීඩියෝවක් හෝ පුවතක් ඇති බවට අඟවා, නරඹන්නන් ඒ ඒ වෙබ් අඩවියේ ඇති වෙළෙඳ දැන්වීම කෙරෙහි යොමු කිරීම මේ එක් ආකාරයක “සයිබර් බොරුවකි. ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි උපයෝගී කරගෙන ඔවුහු මේ “හානි රහිත - වාසි සහිත” බොරු පතුරවති.

පහත දැක්වෙන උදාහරණය සලකන්න.

” මේ දැන්වීම ඔබේ ෆේස්බුක් ගිණුමේ හුවමාරු කර වටිනා ජංගම දුරකතනයක් දිනාගන්න. ඔබ කළ යුත්තේ ඔබට ජංගම දුරකථනය අවශ්‍ය වර්ණය අප වෙත දන්වා එවීම පමණයි.”

මේ ආකාරයේ දැන්වීම්, සමාජජාල අඩවි පරිහරණය කරන ඔබ කොතෙකුත් දැක ඇතුවාට සැක නැත. ඇතැම් විට ඔබේ සමාජජාල පිටු හරහා මිතුරන් අතර විසිරුවා හරිනවා ද විය හැකිය. එයින් ඇතැම් දැන්වීම් සත්‍ය ඒවාද විය හැකිය. එහෙත් ඒ ආකාරයෙන් පළ වන දැන්වීම්වලින් සත්‍ය වශයෙන් ම පොරොන්දු ඉටු වී ඇති බව පෙනී යන්නේ අවස්ථා කොතරම් ප්‍රමාණයක ද?

ආයතනිකව පඩි ලබන සයිබර් බොරුකාරයන්ට අමතරව, සයිබරයේ “සයිබොරු” පැතිරවීම ස්වයංරැකියාව කරගත් පිරිසක් ද සිටිති. අසාධ්‍ය රෝගියෙකු වෙනුවෙන් හෝ යම් කිසි සමාජමය යහ ක්‍රියාවක් උදෙසා අරමුදලක් රැස්කරන මුවාවෙන් හෝ, කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවක්, ව්‍යාපාර හවුලක් මෙන්ම නීත්‍යානුකුල නොවන පිරමීඩ ව්‍යාපෘතිවලට ඔබ හවුල්කරගෙන ලාභාංශ ලබා දෙන මුවාවෙන් මුදල් රැස්කිරීම මඟින් දිනකට ඉලක්කම් හතරේ ආදායම් උපයන පිරිස් නැතුවා නොවේ.

එමෙන් ම පුරුද්දට බොරු කියන්නනුත් ජාලගතව සිටිති. ඔවුන්ට බොරුව හරහා මුදල් ඉපයීමේ, ආයතනයකට සේවය කිරීමේ අරමුණකින් තොරව, බොරුවක් පතුරවා ඊට ලැබෙන “හිට්ස්” ගණන් කිරීමේ මනෝභාවයෙන් යුතු පිරිස මේ ගණයට වැටෙති. ප්‍රකට පුද්ගලයෙකු මියගිය බවට පුවත් පළ කිරීම මේ අතරින් විශේෂිත ය. පසුගිය කාලයේ සිදුවූ මේ සිදුවීම සලකා බලන්න.

කාලයක් අතිශය ජනප්‍රියත්වයට පත් ගායකයකුගේ බරපතල අසනීප තත්ත්වයක් පිලිබඳ පුවතක් දනන් තුඩ තුඩ පැතිර යන මොහොතක, ඔහුට පිහිටවීම සඳහා අන්තර්ජාලය ද ඇතුළුව එකී මෙකී නොකී මාධ්‍ය හරහා අරමුදල් තර කෙරෙන මොහොතක, එම ගායකයා මියගිය බවට පුවතක් ෆේස්බුක් සමාජ අඩවියේ පළ විය. රසිකයෝ කැළඹුණහ. පුවත පළ වී හෝරාවකුදු ඉක්මයන්නට මත්තෙන්, දහසකට අධික පිරිසක් එය නරඹා තිබුණි. ෆේස්බුක් ගිණුම් තුන්සියයකට අධික සංඛ්‍යාවක එය හුවමාරු වී තිබුණි. අන්තිමේදී එය සාවද්‍ය පුවතක් බව නිල වශයෙන් දැනුම් දීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පවා පැවැත්වීමට පෙර කී ගායකයාගේ හිතවතුනට සිදු විය.

ලෝක සයිබර් අපරාධ වැළක්වීමේ ආයතනයට අනුව, සෑම තත්පරයකට වරක්ම, සාවද්‍ය පුවත් 17.000 ක් අන්තර්ජාලයට මුදා හැරේ. සෑම අන්තර්ජාල භාවිත කරන්නන් පස් දෙනෙකුගෙන් එක අයෙකු ම, පැය විසිහතරක කාලය තුළ දෙවතාවකට වඩා, අන්තර්ජාලයේ ඇති අසත්‍ය පුවතක් නිසා නොමඟ යාමේ ඉඩක් පවතී. සයිබරයේ “සයිබොරුකාරයෝ” ඒ තරමට ම සිටිති. ඉතින් අපි සියල්ලෝම සයිබර් අවකාශය තුළ පහසුවෙන් ම “ඇන්දෙමින්” සිටින්නෙමු. එමෙන් ම “අන්දන්නන්” ද කොයි මොහොතක හෝ “ඇඳගන්නා” බව සිහි තබා ගනිමු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා