තුවක්කුවල මල් පිපිලා

තුවක්කුවල මල් පිපිලා

සියල්ලෝ ම දුවන්නට වූයේ වෙන් වෙන් දිශාවලට ය. එහෙත් කිසිවෙකුට මීදුමෙන් ගැලවී ගත නොහැකි විය. බර අඩි සමඟ සොල්දාදුවන් තුවක්කු ඔසවාගෙන දිවූහ.සැහැල්ලු පාවහන් සමඟ තරුණියෝ බ‍රැති සූට්කේස අතින් ගෙන දිවූහ.සියල්ලන්ට ම පෙනි පෙනී සුරූපිණියන් තම ශෝභමාන බව මතකයේ රඳවාගෙන ම දුවන්නට වූහ.

නැන්ජිනයට අත් බෝම්බත්,මූණිස්සමුත්, සුරූපී මලුත් කඩා හැලුනේ එක විට ය.එහෙත් ඉන් ලද බලපෑම විවිධ ය. ඒ 1937 දෙසැම්බර් 13 වැනිදා ය.නැන්ජිනයේ යුද කටයුතු භාරව සිටි මේජර් ලී සතුව එතරම් සොල්දාදුවන් පිරිසක් නොසිටී ය. නැන්ජිනය බේරා ගැනීම සිහිනයක්ව තිබියදීත් අතොලොස්සක් දිරිමත් සොල්දාදුවන් නොනැවතීම සටනේ ය.

පණ බේරා ගනු පිණිස ක‍තෝලික කන්‍යාරාමයක ගැහැනු ළමුන් පිරිසක් දිව යන වීදියක ඔවුන්ව පසු කර යන සුදු අශ්වයෙකු බැදි රථයකි.ඒ මත නගර ශෝභිනියන් ‍රැසකි.තත් බිදී යන කුඩා සිතාරයකි.

මේ නම් කදිම ආරම්භයකි.

එහෙත් තවමත් දැඩිව පැතිරුණු මීදුම පණ බේරා ගන්නට දුවන්නන් මංමුලා කර දමයි.මේ අතර අවමංග්‍යය අධ්‍යක්ෂවරයෙකු වෙඩි උණ්ඩ මඟ හරිමින් හිස හැරුණු අත දුවනු පෙනෙයි.හදිසියේ මතුවන මේ සියලු චරිත ප්‍රේක්ෂකයා මතක තබා ගැනීම නුවණට හුරු ය.මන්දයත් තවත් කෙටි වේලාවකින් ඔවුන් සිනමාපටය තුළ තමන්ට අයිති ඉඩ මත මහත් කැළැඹීමක් ඇති කරන්නට නියමිත බැවිනි.ඒ ‘ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ සිනමාපටයේ අධ්‍යක්ෂක ගේ නියමය මත ය.

චිත්‍රපටය ‘ද ෆ්ලවර්ස් ඔෆ් වෝ'ය. අධ්‍යක්ෂවරු හතරකි. විලියම් කොන්ග්, ඩේවිඩ් ලින්ඩේ, ෂැන්ග් වේපින්ග් සහ ෂැන්ග් යිමෝව් ය. ගෙලින්ග් යැන්ග් ලියූ ‘13 ෆ්ලවර්ස් ඔෆ් නැන්ජින්’ නවකතාව අනුසාරයෙන් මේ සිනමාපටය නිර්මාණය වී ඇත. 84 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් සිනමාපට යටතේ එරටින් නිර්දේශ වුවත් අවසාන වටයට එළැඹීමට අසමත් විය. චීන සිනමා ඉතිහාසයේ වැඩි ම වියදමක් දරා නිපැයූ මේ සිනමාපටය එරට වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපටයද වේ. නිකුත් කර පළමු දින හතර ඇතුළත පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 24 ක් ඉපැයූ සිනමාපටය සති දෙකකට පසුව අමෙරිකානු ඩොලර් මිලියන 70 ක් උපයා ගෙන ඇත.

අවමංගල්‍යය අධ්‍යක්ෂවරයා නොහොත් ව්‍යාජ පූජකයා ගේ චරිතය රඟන ක්‍රිස්ටියන් බේල් ගේ රංගනය පැසසුම් ලැබිය යුතු ම ය.නගර ශෝභිනියක ලෙස රඟන ‘නී නී’ ද නවක නිළියකි.එහෙත් ඇගේ රංගනයේ ඇති බුහුටිකම වඩාත් ඉහළ තැනකින් ඇයව ඔසවා තබනු පෙනෙයි. සාමාන්‍ය ජීවිතයේ දී ඉතාමත් නරක මිනිසුන් පවා යුද්ධය වන් අමානුෂික කාර්යයකට මැදි වූ පසු ඉන් සමාජයට අත් වන අකටයුතුකම් මැද යහපත් මිනිසුන් බවට හැරවෙන ආකාරය ඇහැට ඇගිල්ලෙන් අනිමින් පෙන්වන ආකාරය පුදුමාකාර ය.'නැන්ජිනයේ ප්‍රකට දූෂ්‍ය’ ලෙස වර නැඟුණු මේ චීන-ජපාන යුද්ධය ලෙයින් නැහැවුණු අතීතයක් අපට රඟ දක්වා පෙන්වයි.

කන්‍යාරාමයේ කුඩා දැරිවියන් දු‍ටු කළ ‘කන්‍යාවියන්’ යැයි පවසමින් ජපාන සොල්දාදුවන් මොර දෙන ආකාරයත්,මහා යුද ගැ‍ටුමක් මැද ඔවුන්ව දූෂ්‍ය කරන ආකාරයත් හෙළි කරන අමානුෂිකත්වය වෙඩි උණ්ඩවලට වඩා වේදනාකාරී ය.යුද්ධයක අනිවාර්ය අතුරුපල මේ යැයි අධ්‍යක්ෂවරයා අපට නොකීවත් යමක් අනුමාන කිරීමට බුද්ධිමත් ප්‍රේක්ෂකයාට හැකි ය.

එක් නුවණක්කාර චීන සොල්දාදුවෙකු සිනමාපටය පුරා ම පෙන්වන ආත්ම ශක්තිය පැසසුම් ලැබිය යුතු ය.ඔහු ගේ අරමුණ කන්‍යාරාමයේ කුඩා දැරියන්ව ආරක්ෂා කිරීමයි.

මුදල් බලාපොරොත්තු වන,නගර ශෝභිනියකගෙන් ලාලාසාව බලාපොරොත්තු වන අවමංගල්‍යය අධ්‍යක්ෂවරයා මොහොතකින් ව්‍යාජ පූජකයෙකු වන ආකාරයත් අවසන ඔහු නියම පූජකවරයෙකුටත් වඩා හොඳින් කන්‍යාරාමය ‍රැක ගන්නා ආකාරයත් රුචිය වඩවන සුළු ය.සුළු නරකක් ඇති මිනිසුන් වඩාත් අප්‍රියජනකව හැසිරෙන ආකාරයත් මුළුමනින් ම අප්‍රියකාර මිනිසුන් යහපත් චරිත ලක්ෂණ ඇත්තන් බවට පත් වන ආකාරයත් එතරම් පුදුම උපදවන සුළු නොවේ.

සුරූපී නගර ශෝභිනිය ‘මෝ’ සිනමාපටය පුරා ම නොමැකෙන සළකුණු තබමින් ලලිතවත්ව ඇවිද යයි.

නැන්ජිනය ලේ ගංගාවක් හෙළා ජපානයට යටත් වූ පසුත් කතාව කියන කන්‍යාරාමයේ දැරිවිය ප්‍රකට කරන පසුතැවීම හුදෙක් නගර ශෝභිනියන් උදෙසා හට ගත්තක් නොව තම මවු රට උදුරා ගත්තවුන් කෙරෙහි ඇති වූවකි.

චීන සිනමා ඉතිහාසයේ වැඩි ම වියදමක් දරා නිපැයූ මේ සිනමාපටය එරට වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපටයද වේ.නිකුත් කර පළමු දින හතර ඇතුළත පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 24 ක් ඉපැයූ සිනමාපටය සති දෙකකට පසුව අමෙරිකානු ඩොලර් මිලියන 70 ක් උපයා ගෙන ඇත.

‘මට තියෙන්නෙ එක තතයි. ඒකෙන් ලස්සනට වයන්න බෑ’

එසේ කියන්නේ නගර ශෝභිනියකි. ඈ සතු සිතාරයකි.

බලන්න වටින්නේ එහෙයිනි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා