හිමිවරුන් හා මන්ත්‍රීවරුන් 26 දෙනාට ඇප

අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ කළ

හිමිවරුන් හා මන්ත්‍රීවරුන් 26 දෙනාට ඇප

උසාවිය මග හැරි ඥානසාර හිමියන්ට වරෙන්තු

අධිකරණ නියෝග නොතකා අධිකරණයට අපහාස වන අන්දමින් මහජන සාමය හා ආරක්ෂාව කඩකර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළේ යැයි අධිකරණයේ පෙනීසිටි ස්වාමීන් වහන්සේලාට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 26 දෙනකුට ඇප නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අධිකරණයේ පෙනී නොසිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඊයේ (08) වරෙන්තු නිකුත් කෙළේය.

සාමය කඩවන අයුරින් තවදුරටත් ක්‍රියා නොකරන ලෙසට තරයේ අවවාද කරමින් සැකකරුවන්ට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇප කොන්දේසි කඩ කළහොත් ඇප අවලංගු කරන බවද දන්වා සිටියේය.

ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සැකකරුවන්ට රුපියල් ලක්ෂ දහය බැගින් ශරීර ඇප නියම කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසට ශරීර ඇපවලට අමතරව රුපියල් දසදහස බැගින් මුදල් ඇප නියම කෙළේය.

සැකකරුවන් සෑම මසකම අවසන් සිකුරාදා මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන ‍රෙජිස්‍ටාර්වරයා ඉදිරියේ පෙනී සිටිය යුතු බවද නියෝග කෙරිණි.

අද (09) දින උදෑසන 8.30 සිට සියලු සැකකරුවන් කුරුඳුවත්ත පොලිසියට වාර්තා කර ප්‍රකාශයක් ලබාදෙන ලෙසද නියෝග කෙළේය.

අප්‍රේල් 24 දින අධිකරණය නිකුත් කළ නොතීසියක් පරිදි අධිකරණයේ පෙනී සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක, විතාරන්දෙණියේ නන්ද, අහුන්ගල්ලේ සිරි ජිනානන්ද, බියගම සුසීල, වටිනාපහ සෝමානන්ද, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේලාට ඩලස් අලහප්පෙරුම, ජානක ප්‍රියන්ත බණ්ඩාර, සරත් වීරසේකර, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ, උදිත ලොකු බණ්ඩාර, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, රොජර් සෙනවිරත්න, ජගත් කුමාර, සුනිල් ජයමිණි, උපාලිකොඩිකාර, මධුමාධව අරවින්ද, අජන්ත ලියනගේ යන 26 දෙනකුට මෙසේ ඇප නියම කෙළේය.

අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය අමු අමුවේ උල්ලංඝණය කරනවා නම් එම පුද්ගලයන්ව අත්අඩංගුවට නොගත්තේ මන්දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා පොලිසිය වැරදි වැඩක් කැර ඇති බවට ප්‍රකාශ කෙළේය.

භික්ෂූන් වහන්සේලාව අධිකරණ නියෝගය පිළිබඳ දැනුවත් කෙළේද? යන්න විමසූ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මහ පාරේ මිනිසුන්ට හිරිහැර වෙන අන්දමින් පිරිත් කිව්වේ මොකද? පිරිත් කීමට තිබූ අවශ්‍යතාව කුමක්ද යන්න ප්‍රශ්න කෙළේය.

අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමට හෝ විසුරුවා හැරීමට හෝ පොලිසිය එම අවස්ථාවේ ක්‍රියාත්මක වූයේ නම් මීටත් වැඩි සාමය කඩවීමක් සිදුවීමට ඉඩ තිබූ බව සහකාර පොලිස් අධිකාරී කේ. එම්. චන්ද්‍රතිලක මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

සහකාර පොලිස් අධිකාරීවරයා කරුණු දක්වමින් මෙසේද පැවසීය. නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ උපදෙස් පරිදි මෙහි පරීක්ෂණ කටයුතු සිදු කරනවා. පොලිසියේ බුද්ධි තොරතුරු අනුව මහජන සාමය හා ආරක්ෂාව වෙනුවෙන් අල්ලස් කොමිසම ඉදිරිපිට (අප්‍රේල් 23 දින) පැවැත්වෙන උද්ඝෝෂණ දෙකක් වැළැක්වීමට අධිකරණ නියෝග ලබාගත්තා. මුජිබර් රහුමාන් හා මොහොමඩ් මුසම්මිල් මහත්වරුන්ට හා උද්ඝෝෂණ පවත්වන අයට එරෙහිව එම නියෝග ලබාගත්තා.

අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයේ නියැළීම තහනම් කරමින් ලබාගත් එම නියෝග සියලු මාධ්‍යවල ප්‍රචාරය වුණා. එස්.එම්. එස්. පණිවිඩ මඟින් ජනතාව අතරට ගියා. එම නියෝග අප උද්ඝෝෂකයන්ට දැනුම් දුන්නා අත්දෙක උත්සලා කිව්වා. එහෙත් එම නියෝගය තැකුවේ නෑ. මුළු පාරම අවහිරවන අන්දමින් උද‍්ඝෝෂණය කළා. මොහොමඩ් මුසම්මිල්ට එම නියෝගය භාර දුන්නාම ආපසු ඔබතුමාට බාරදෙන්න කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ හිටපු නීතිපති ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

ස්වාමීන් වහන්සේලාට පෙර වැරැදි නෑ. අධිකරණයට අපහාස කිරීමට අදහසක් තිබුණේ නෑ. එහෙම අපහාස කරන්නෙත් නෑ. අපිට අධිකරණ නියෝගයක් ලැබිලා නෑ.

එස්. එම්. එස්. මඟින් දෙන නියෝග කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ.

සාමකාමීව රැස්වෙන්න, අදහස් ප්‍රකාශ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. එතැන නීති විරෝධී සාමය කඩවීමක් සිදුවූයේ නම් පොලිසියට විසුරුවා හරින්න තිබුණා. එසේ කරන්න පුළුවන් වන්නෙත් ස්ථානාධිපතිවරයකුට පමණයි. මහේස්ත්‍රාත්වරයා - භික්ෂූන් වහන්සේට මහපාරේ පිරිත් කියන්න පුළුවන්ද මිනිසුන්ට හිරිහැර වන අන්දමින්. පාලිත ප්‍රනාන්දු මහතා - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය ප්‍රකාරව අයිතිවාසිකම් පෙන්වා දී තියෙනවා.

පොලිසිය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය අනුව එම අයිතීන් සීමා කරලා තියෙනවා.

පාලිත ප්‍රනාන්දු මහතා - නීති විරෝධී නම් පොලිසියට විසුරුවන්න තිබුණා.

මහේස්ත්‍රාත්වරයා - මේ නියෝගය පිළිබඳව උද්ඝෝෂකයන් දැනුවත් කෙරුවද.

පොලිසිය - දැනුවත් කළ බවට මාධ්‍යවල පළවූ දර්ශන සාක්කි තියෙනවා.

පාලිත ප්‍රනාන්දු මහතා - මිනිසුන්ගේ අයිතීන් නවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයටවත් බෑ.

මහේස්ත්‍රාත්වරයා - කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ බෑ කියලා මේ නියෝගයේ තියෙනවා.

පාලිත ප්‍රනාන්දු මහතා - එහෙම නියෝගයක් පෙන්නුවේ නෑ.

තවදුරටත් නීතිමය කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කෙළේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු විමසීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවය.

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා - අධිකරණය ඉදිරියේ කරුණු ඉපැරණි නඩු තීන්දු ඉදිරිපත් කරමින් සැකකරුවන් අධිකරණයට අපහාස කිරීමක් සිදුකර නොමැති බවත්, සැකකරුවන්ට එරෙහිව අධිකරණ නියෝගයක් නොතිබූ බවත්, මන්ත්‍රීවරුන්ට හැම තිස්සෙම ප්‍රවෘත්ති බලන්න නොහැකි බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා - අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106, 3 වගන්තියේ 99 වගන්තිය අනුව පොලිසිය සිතාසි බාරදීමක් කැර නෑ. ටී. වී. රේඩියෝ, එස්. එම්. එස්. මඟින් සිතාසි බාරදෙන්නේ නෑ, මොවුන්ට පොලිසිය නොතිසි බෙදුවද. නැතහොත් ඔවුන්ට පෙනෙන්න අධිකරණ නියෝග මත නොතිසි ඇලෙව්වද නෑ. මේ අහිංසක පුද්ගලයින්, කීර්තිමත් භික්ෂූන් වහන්සේලා මේ නියෝග දන්නේ නෑ. මොවුන් සාමය කඩකළාද, ගල් ගැහුවද, මොනවද කළේ? මේවා පොලිසිය හිතින් මවාගත්ත මනස්ගාත.

පොලිසිය - උද්ඝෝෂකයන් ගල් ගැසුවේ නැති බව පිළිගන්නවා. ඔවුන් රාජ්‍ය දේපළ හානි කෙළේ නෑ. ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ රසික් සරුක්, නීතිඥ සංජය ගමගේ, නීතිඥ ඇන්ටන් සේනානායක, ජනාධිපති නීතිඥ කුෂාන්ඩි අල්විස් මහත්වරුන් ද කරුණු ඉදිරිපත් කෙළේය. අධිකරණ බලය පිළිබඳව ඔවුන් කරුණු ඉදිරිපත් කෙළේය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ රැසක් අධිකරණයට පැමිණ සිටියහ. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විභාගය ජූලි 13 දිනට නියම කර සැකකරුවන්ට ඇප නියම කරමින් තරයේ අවවාද කෙළේය.සැකකාර භික්ෂූන් වහන්සේලාට කඩිනමින් ඇප ලබාදෙන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරුන් ඇතුළු සැකකරුවන් ඇප අත්සන් කරන තෙක් සාමාන්‍ය බන්ධනාගාර රැඳවියන් තබන කුටියකින් බැහැරව රඳවා තබන ලෙසට නියෝග කෙළේය.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස මහේස්ත්‍රාත් අධිකරණයේ අලුතින් ස්ථාපිත කර මෙතෙක් විවෘත කැර නොමැති බන්ධනාගාර රැඳවියන් රඳවන කාමරයක ඇප අත්සන් කරන තෙක් අගුළුලා රඳවා තැබීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා