ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මන්ත්‍රීන් 3ක් නෙරපීමට එ‍ෙරහිව අතුරු තහනමක්

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මන්ත්‍රීන් 3ක් නෙරපීමට එ‍ෙරහිව අතුරු තහනමක්

පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මකවීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (08) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂ නායකත්වය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් එම මන්ත්‍රීවරුන් ගොනු කර ඇති පෙත්සමක් විභාග කර අවසන් කරන තෙක් මෙම නියෝගය බල පැවැත්වේ‍

බස්නාහිර පළාත් සභාවේ එම්. කේ. අශෝක දයාරත්න, දකුණු පළාත් සභාවේ පත්මසිරි ද සිල්වා සහ වයඹ පළාත් සභාවේ මල්හාමි රත්නායක යන මහත්වරුන් මෙම පෙත්සම ගොනු කැර තිබුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ විනිසුරු එච්. සී. ජේ. මඩවල මහත්මිය ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවීය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, එම පක්ෂයේ මහ ලේකම් ආනන්ද මානවඩු, පක්ෂයේ විනය කමිටු සාමාජිකයන් වන වයි. සුනිල් ද සිල්වා, කපිතාන් ගයාන් විතානගේ, කේ. ඩී. අනුර දීපාල්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, එහි ලේකම් හේමන්ත සමරකෝන් යන මහත්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා මෙහි වගඋත්තරකරුවන් කොට ඇත.

ඉකුත් පළාත් සභා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරඟ කොට ජයග්‍රහණය කර තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් 2014 නොවැම්බර් 12 වැනි දින දෙවන වගඋත්තරකාර පක්ෂ ලේකම්වරයා ලිපියක් නිකුත් කළ බවත් සඳහන් වේ.

වෙනත් දේශපාලන පක්ෂයක් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවීමෙන් පක්ෂ විනය කඩ කරන ලදැයි ද, එය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවට ද එම ලිපිය මගින් චෝදනා කැර තිබේ.

එහෙත් තමන් දන්නා පරිදි පක්ෂ ව්‍යවස්ථාවක් නැති බවද, තමන්ට එල්ල කොට ඇති චෝදනා පදනමක් නොමැති බවද පෙත්සම්කරුවෝ සඳහන් කළහ.

එබැවින් අසාධාරණ ලෙස සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම බල රහිත කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා