රහසිගත බැංකු ගිණුම් කිසිවක් නෑ

රහසිගත බැංකු ගිණුම් කිසිවක් නෑ

හිටපු ජනපති මහින්ද කියයි

මටත්, මාගේ බිරියටත්, පුතුන්ට හා සහෝදරයන්ටත් අමෙරිකානු ඩොලර් බිලියන 18ක වත්කම් විදේශීය බැංකු ගිණුම් හා සමාගම්වල ආයෝජන හැටියට තිබෙන බවට විදේශීය ඔත්තු සේවාවලින් තොරතුරු ලැබී ඇති බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඊයේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී කියා සිටියේය. එක කාලයක දී කොළඹ ඉදිවෙන විශාල ගෙවල් හා රට පුරා තැන් තැන්වල ඉදිවෙන හෝටල් මගේ පවුලේ සාමාජිකයන්ට අයිති ඒවා යැයි ප්‍රචාර ගෙන යෑමේ ප්‍රවණතාවක් තිබුණි. මෙවැනි ප්‍රචාර දැන් ගෙන යෑමට නොහැකි නිසා පිටරට තිබෙන රහසිගත වත්කම් ගැන ප්‍රචාර සිදුකෙරේ.

මටත්, මගේ පවුලේ සාමාජිකයන්ටත් තිබෙනවා යැයි කියන විදේශීය වත්කම් ගැන කතා කිරීමේ දී ඒ තොරතුරු සත්‍යදැයි තමා නොදන්නා බව කීමට ද සමරවීර ඇමැතිවරයා වගබලා ගත්තේය. තමා කරන ප්‍රකාශ ඒ ආකාරයට ආවරණය කර ගැනීමෙන් සම්පූර්ණ මුසාවක් වුවද සත්‍යයක් හැටියට ජනතාවට ඉදිරිපත් කිරීමට හැකි වේ. විදේශ ඇමැති එවැනි ප්‍රකාශයක් කරන විට එය විදෙස් පුවත් සේවාවලින් ද ප්‍රචාරය වේ. මට එරෙහි බොරු ප්‍රචාර එවැනි කපටි උපක්‍රම මඟින් ප්‍රසිද්ධ කරනු ලැබේ. මට හෝ මගේ බිරියට හෝ පුතුන්ට හෝ සහෝදරයන්ට රහසිගත බැංකු ගිණුම් හෝ විදේශීය සමාගම්වල රහසිගත ආයෝජන කිසිවක් නැති බව ජනතාවට දැනුම් දීමට මම කැමැත්තෙමි. සමරවීර ඇමතිවරයාගේ ප්‍රකාශය ගැන නීතිමය උපදෙස් ලබාගැනීමට ද මම බලාපොරොත්තු වෙමි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා