මුද්‍රණය සඳහා

 
ගෝඨාභය අධිකරණ නියෝග කැඩුවා නම් අධිකරණයට කරුණු වාර්තා කරනවා

ගෝඨාභය අධිකරණ නියෝග කැඩුවා නම් අධිකරණයට කරුණු වාර්තා කරනවා

කොළඹ අපරාධ කොට්ඨාසය

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කර අධිකරණ නියෝග කඩකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (8) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ද අධිකරණයට අපහාස වන අන්දමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිටදී ක්‍රියාකර ඇතැයි ‍නීතිඥ හුසේන් අසාර් මහතා කළ කරුණු දැක්වීමෙන් පසුව පොලිසිය මේ බව දන්වා සිටියේය.

අධිකරණ නියෝග කඩකරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනකු ඇතුළු සැකකරුවන් 27දෙනාට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ මෙම කරුණු දැක්වීම සිදු කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂකයන් අතරින් වාහනයකින් ගමන් කිරීමේදී උද්ඝෝෂකයින්ට ස්තූති කළ බවත්, එසේ ස්තූති කිරීම තුළින් අධිකරණයට අපහාසයක් කර ඇති බවත්, අධිකරණ නියෝගය හෑල්ලුවට ලක්කර ඇති බවත් නීතිඥවරයා පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණ ගියා නම් ප්‍රශ්නයක් උද්ගත නොවන බවත්, මේ සම්බන්ධයෙන් රූපවාහිනි දර්ශන තිබෙන බවත්, තමන් පුද්ගලිකව කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇති බවත් නීතිඥවරයා පැවැසීය.

අදාළ කරුණු විමර්ශනය කිරීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළ පොලිසිය අධිකරණ නියෝගය බාර නොගත් ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා ද පැමිණිල්ලේ සැකකරුවකු ලෙස ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළේය. කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මුසම්මිල් මහතා සම්බන්ධයෙන් වෙනම වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරි කේ. එච්. චන්ද්‍රතිලක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. පැමිණිල්ල වැඩිදුර විභාගය ජූලි 13 දිනට නියම කෙරිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]