කෝටි 4ක වංචාවකට හිටපු ක්‍රීඩා ලේකම්ගෙන් ප්‍රශ්න කරයි

කෝටි 4ක වංචාවකට හිටපු ක්‍රීඩා ලේකම්ගෙන් ප්‍රශ්න කරයි

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා කටයුතු කළ කාලයේදී රුපියල් කෝටි හතරකට ආසන්න මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය කැරගෙන තිබේ.

මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා ඊයේ එම මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා සිදුවී ඇති මූල්‍ය වංචාව සම්බන්ධව පැය පහක පමණ වේලාවක් ප්‍රශ්න කළ බව පැවසේ.

මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙන්ම මෙරට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කැර තිබේ.

ඒ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී එම අමාත්‍යාංශයට චෙස් බෝඩ් ඇතුළු තවත් ආම්පන්න රැසක් මිලදී ගැනීමේදී රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වංචා කැර අදාළ ක්‍රීඩා උපකරණ සියල්ල ගිවිසුමට අනුව මිලදීගෙන නැති බවත් එතරම් විශාල මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවද මුල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව පැමිණිල්ලක් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබීමෙන් අනතුරුව සිදු කැර පරීක්ෂණවලදී එම අමාත්‍යාංශයේ තවත් නිලධාරීන් රැසකගෙන් ප්‍රශ්න කැර තිබේ.

රජයේ භාණ්ඩාගාරයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට ලබාදී ඇති මුදල් මෙසේ වංචාකාරී ලෙස අයථා ප්‍රයෝජන සඳහා යෙදවීමේ වංචාව සම්බන්ධයෙන් පොදු දේපොළ පනත සහ මුදල් විශුද්ධිකරන පනත යටතේ මෙසේ පරීක්ෂණ සිදු වෙයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා