ගාලු පුරපති නෙරපීමේ මහ ඇමැති තීරණය හරි

ගාලු පුරපති නෙරපීමේ මහ ඇමැති තීරණය හරි

අභියාචනාධිකරණය තීන්දු කරයි

ගාල්ල නගරාධිපතිව සිටි මෙත්සිරි ද සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට දකුණු පළාත් සභා මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා ගත් තීරණය නීත්‍යානුකූල බවට අභියාචනාධිකරණය ඊයේ (08) තීරණය කෙළේය.

ඒ අනුව එම නගරාධිපතිවරයා ඉවත් කරමින් දකුණු පළාත් මහ ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නැවත බලාත්මක කරන ලදී.

එසේම එම ඉවත් කිරීමේ තීරණය සහ එම ගැසට් නිවේදනය බල රහිත කරමින් 2014 වසරේ සැප්තැම්බර් මස ගාල්ල පළාත්බද මහාධිකරණය නිකුත් කළ නියෝගය අවලංගු කෙළේය.

එම මහාධිකරණ නියෝගයට එරෙහිව දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා ගොනු කළ අභියාචන පෙත්සමක් විභාග කර තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කෙළේය.

විවිධ දූෂණ චෝදනා සහ අක්‍රමිකතා මත ගාල්ල නගරාධිපති ධුරයෙන් මෙත්සිරි ද සිල්වා මහතා ඉවත් කිරීමට දකුණු පළාත් මහ ඇමැතිවරයා තීරණය කළ අතර ඊට අදාළව ගැසට් නිවේදනයක්ද නිකුත් කෙළේය.

එම තීරණයට එරෙහිව මෙත්සිරි ද සිල්වා මහතා ගොනු කළ නඩුවක් විභාග කළ ගාල්ල මහාධිකරණය අදාළ තීරණය සහ ගැසට් නිවේදනය බල රහිත කරමින් 2014 සැප්තැම්බර් මාසයේදී නියෝගයක් නිකුත් කෙළේය. එම මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් දකුණු පළාත් මහ ඇමැතිවරයා මෙම‍ පෙත්සම ගොනු කළේය. ඒ සම්බන්ධව පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශ කළ කේ. ඩී. චිත්‍රසිරි සහ මාලනී ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් අදාළ මහාධිකරණ තීන්දුව නීතියට පටහැනි බව තීරණය කෙළේය.

ඒ අනුව මෙත්සිරි ද සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට මහ ඇමැතිවරයා ගත් තීරණය අභියාචනාධිකරණය තීන්දු කෙළේය. ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා දකුණු පළාත් මහ ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා මෙත්සිරි ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා