දේශපාලන න්‍යාය පත්‍රවලට වඩා රටේ න්‍යාය පත්‍රය වැදගත්

දේශපාලන න්‍යාය පත්‍රවලට වඩා රටේ න්‍යාය පත්‍රය වැදගත්

ජනපති මෛත්‍රී හම්බන්තොටදී කියයි

දේශපාලන න්‍යාය පත්‍රවලට වඩා රටේ න්‍යාය පත්‍රය ඉතා වැදගත් බව පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලය සඳහා බෙදෙනවාද රට ගොඩනැගීමට එක්වනවාද යන්න අද සියලු දෙනා තීරණය කළ යුතු බව පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (08) ‍පෙරවරුවේ එක්වෙමිනි. තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. රටක් බෙදී වෙන්වූ විට ඒ රට මහා ඛේදවාචකයකට ලක්වෙනවා. රටක ජනතාව කුමන හෝ කරුණු මත බෙදීම සහ වෙන් කිරීම එම රටේ යහපතට හේතු වන්නේ නෑ.

රට ගොඩනැගීමට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ මෙන්ම සෙසු දේශපාලන පක්ෂවලද සහය අවශ්‍යයි. ඇතැම් අවශ්‍යතාවයන් කෙස් පැළෙන තර්කවලින් ඇතමුන් ඉදිරිපත් කළද අද මේ රටේ පැහැදිලිව ඇති අවශ්‍යතාවය රට තුළ සිටින සියලු ආගම් අදහන සහ සියලු භාෂාවන් කතා කරන ජනතාව එකම පිරිසක් ලෙස වැඩ කිරීමයි.

සියලු දෙනා එක්ව රටේ අහිංසක ජනතාව දුගී භාවයෙන් මුදා ගැනීමට කටයුතු කළ යුතුයි ද ජනාධිපතිතුමා ‍පැවසීය. හම්බන්තොට පැරණි කච්චේරිය නවීකරණය කර මෙලෙස මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය ඉදි කර තිබෙනවා. සමරු ඵලකය නිරාවරණය කර කෞතුකාගාරය විවෘත කළ ජනාධිපතිතුමා පළමු ටිකට් පත මිලදී ගෙන එය නැරඹීමටද එක් විය. කෞතුකාගාර පරිශ්‍රයේ Wi-Fi කලාපය විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඇමැතිවරුන් වන සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර, නන්දිමිත්‍ර ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා