ගම්පහ සාම විහාර වෙසක් පෙරහර 51 වැනි වතාවටත් වීදි සංචාරයේ...

ගම්පහ සාම විහාර වෙසක් පෙරහර 51 වැනි වතාවටත් වීදි සංචාරයේ...

ගම්පහ ජාත්‍යන්තර සාම විහාරය කේන්ද්‍ර කොට ගනිමින් වසර 51ක් තිස්සේ පැවැත්වෙන වෙසක් තොරනෙ ප්‍රශංසනීය කටයුත්තක් යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා එසේ කීවේ එම වෙසක් පෙරහර ආරම්භ කිරීමට පෙර පැවැති ආගමික කටයුතු අවස්ථාවට එක්වෙමිනි.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

මහනුවර පෙරහර මෙන් විචිත්‍රව උඩ පහත රට,සබරගමුව පළාත් නැටුම්වලින් සමන්විත ගම්පහ වෙසක් පෙරහර නැරඹීමට ගම්පහ නගරයට නන්දෙසින් අතිවිශාල ජනතාවක් එක්රොක් වෙනවා. මේ පෙරහරේ නිර්මාතෘ දරමිටිපොළ රතනසාර හිමියන් උන්වහන්සේ මේ පෙරහර අත්‍යාලංකාරව පැවැත්වූවා. මේ විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි හිමි ප්‍රමුඛ දායක සභාවත් එය එලෙසම පවත්වාගෙන යාමට කටයුතු කිරීම පැසසිය යුතුය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඓතිහාසික ගම්පහ වෙසක් පෙරහර වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක ආධාරයක් පිරිනමා තිබෙනවා.

පන්විල ආනන්ද නාහිමි - බුදු සමිඳුන්ගේ කරණාව, මෛත්‍රිය, දයාව පිළිඹිඹුවන වෙසක් පෙරහර වසර 51ක් තිස්සේ නොකඩවා පවත්වාගෙන යාමට ගම්පහ ජාත්‍යන්තර සාම විහාරස්ථානය හා එහි නායක හිමිපාණෝ කටයුතු කිරීම ඉතා විශිෂ්ට ක්‍රියාවකි.

ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා - මේ අවස්ථාවට සහභාගීවීමට ලැබීම භාග්‍යයකි. වත්මන් විහාරාධිපතින් වහන්සේ තම ගුරුදේව දරමිටිපොල රතනසාර හිමි ආරම්භ කළ වෙසක් පෙරහර සාර්ථකව පැවැත්වීමට දායක සභාව සමඟ ගම්පහ සියලු සැදැහැවතුන් එක්කරගෙන තිබෙනවා. එම හිමිපාණන්ගේ කැපවීම විශිෂ්ටයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා