මුද්‍රණය සඳහා

 
අහිතකර ක්‍රීඩා නියෝග 11ක් සංශෝධනය කරනතුරු සටන් කරනවා

අහිතකර ක්‍රීඩා නියෝග 11ක් සංශෝධනය කරනතුරු සටන් කරනවා

ජාතික ඔලිම්පික් කමිටු සභාපති

ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල අහිතකර වගන්ති 11ක් සංශෝධනය කරනතුරු සටන අත්නොහරින බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

එම අහිතකර නියෝගවලට ඇතුළත්වු 'නිලධාරියකුගේ සමස්ත සේවා කාල එකතුව අවුරුදු 4ක් නොඉක්මවිය යුතුය' යන කරුණු වෙනුවෙන් පමණක් තම සටන සීමා නොවන බව ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටී.

වසර 2013දී ක්‍රීඩා සංගම් නියෝගවල අහිතකර බව පෙන්වා දුන්විට ඔලිම්පික් කමිටුවට එරෙහිව එදා නැගී සිටි ඇතැම් ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට අද අවශ්‍යව ඇත්තේ වසර හතරේ නීතිය කඩිනමින් වෙනස් කිරීමට වුවද තම අරමුණ රටේ සමස්ත ක්‍රීඩාව ආරක්ෂා කිරීම බව ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා මේ බව පැවැසුවේ පෙරේදා ඔලිම්පික් නිවහනේ පැවැති මාධ්‍ය හමුවකදීය. ජාතික ක්‍රීඩා සංගම් නියෝග සංශෝධනය පිළිබඳ පැහැදිලි කිරීමට මේ මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

වසර 2013 අංක 1 දරණ ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල අහිතකර වගන්ති ලෙස ජාතික ඔලිම්පික් කමිටුව හඳුනාගෙන ඇති කරුණු අතර පළමුවැන්න ක්‍රීඩා සංගමයක් ලියාපදිංචි කිරීම සඳහාවූ සෑම ඉල්ලීමක්ම ක්‍රීඩා ඇමැතිවරයාට ඉදිරිපත් කළ යුතුය යන්නය.

ක්‍රීඩා සංගම් ලියාපදිංචි කිරීමේදී ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට යටත්වීම, ජාතික සංගම්වල අනුබද්ධිත ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අනුමැතියට යටත් කිරීම, යම් ක්‍රීඩා සංගමයක් ජාත්‍යන්තර පාලක මණ්ඩලය ලියාපදිංචිය ලබාගැනීමට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතුවීම, ජාතික සංගමයක නිලධාරී මඩුල්ල හා කමිටු සාමාජිකයන්ගේ කාලය අවුරුදු 2ක් බවට තීරණය කිරීම, අක්‍රීය ක්‍රීඩා සංගම් ඉවත් කිරීමේ බලය අධ්‍යක්ෂ ජෙනරාල් වෙත පවරා ගැනීම, ප්‍රධාන නිලතලවල ධුර කාලය වසර 4කට සීමා කිරීම, ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවය කරන අයෙකු නිලවරණයකට ඉදිරිපත්වීමේදී ඇමැති අනුමැතිය ගැනීම, නිලවරණ පැවැත්වීමේදී නාමයෝජනා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත භාරදීම හා නාමයෝජනා විවෘත කිරීමේ බලය අධ්‍යක්ෂ ජෙනරාල් වෙත පවරා ගැනීම, නිලවරණයට ඉදිරිපත්වන පුද්ගලයන්ගේ ජීවදත්ත අධ්‍යක්ෂ ජෙනරාල්ට භාරදීම හා ක්‍රීඩා තරගවලට සහභාගීවන ජාතික කණ්ඩායම් තේරීමේදී අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මාර්ගෝපදේශ පිළිපැදීම යන රෙගුලාසි අහිතකර බව ජාතික ඔලිම්පික් කමිටුවේ මතයවී තිබේ. මේ වගන්ති සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය හා ඔලිම්පික් කමිටුව එක්ව විශේෂ කමිටුවක් පත්කරගෙන ඇති බවත් එහි වැඩ කටයුතු සියයට හැත්තෑපහක් පමණ අවසන්ව ඇති බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ මස 13වැනිදා නැවැත එම කමිටුව වැඩ ආරම්භ කරන හෙයින් ඉක්මනින්ම රෙගුලාසි සංශොධනය කොට නීතිපතිවරයාට යැවීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යාංශයට උදාකර දිය හැකි බව ප්‍රනාන්දු මහතාගේ විශ්වාසය විය.

සංශෝධිත ක්‍රීඩා රෙගුලාසිවලට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවීමෙන් පසුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුව ඇත. එම අනුමැතිය ලබාගත් පසුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ.

“අපේ වගකීම නිසි ලෙස ඉටු කිරීම යුතුකමක්. ක්‍රීඩා සංගම්වල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටයි අපේ කැපවීම තියෙන්නේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩා ඇමැතිවරයාට ලිපි මගින් දැනුම්දී තිබෙන්නේ රෙගුලාසි සංශෝධනය කරන ලෙසයි. ඔවුන් ඉල්ලා සිටින්නේ ජාතික සංගම්වලට ස්වාධීනත්වය ලබාදෙන ලෙසත්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් හරහා පාලනය කිරීම නවත්වන ලෙසත්, ඒක ඉටු කළ යුතුමයි” හේමසිරි ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ පැවැසීය.

මේ මාධ්‍ය හමුවට ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ජ්‍යෙෂ්ඨ උප සභාපති දේවා හෙන්රි හා භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ යන මහත්වරු එක්ව සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]