බංග්ලාදේශයට ලකුණු 550ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 550ක ඉලක්කයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග මිර්පූර්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ‍ලකුණු 550ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹායන බංග්ලාදේශ පිල ඊයේ තරගයේ තෙවැනි දිනය නිමාවනවිට කඩුල්ලක් දැවී ලකුණු 63 රැස් කරගෙන සිටියේය.

ඒ අනුව කඩුලු 9ක් අතැතිව සිටින බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 487ක් ලබාගත යුතු වෙයි.

ටම්මි ඉක්බාල් ලකුණු 32 ක් හා මොමිනුල් හක් ලකුණු 15 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ඊයේ තරගයේ තෙවැනි දිනය ආරම්භ වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 107ක් ලබාසිටි බංග්ලාදේශය පළමු ඉනිමේදී තවත් ලකුණු 33ක් තුළ කඩුලු 3ක් බිඳ වැටිණි. ඉනිම ගොඩනැගීමේ හුදකලා සටනක නිතරවූ සකීබ් අල් හසන් සමග 9වැනි කඩුල්ලට එක්වූ මොහොමඩ් සහීඩ් බංග්ලාදේශ ලකුණු පුවරුව 203 දක්වා ඉදිරියට ගෙන ගියේය. ලකුණු 63කින් ගොඩනැගුණු සබඳතාවේදී සකීබ් ලකුණු 62ක් ලබාගත් අතර සහීඩ් රැස්කළේ එක් ලකුණක් පමණි. සහීඩ් දැවී යෑමෙන් බංග්ලාදේශ ඉනිම නිමාවට පත්වූයේ සදාත් හුසෙන් (තුවාල ලබා) පන්දුවට පහරදීමට නොපැමිණීම හේතුවෙනි.

පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 557ක් රැස්කළ අතර දෙවැනි ඉනිම ආරම්භක කළේ ලකුණු 354ක් ඉදිරියෙන් සිටිමිනි. පාකිස්තාන දෙවැනි ඉනිමේදී නායක මිස්බා උල් හක් ලකුණු 82ක් රැස්කළ අතර ඔහු 6වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් ඉනිම අත්හිටුවීය. ඒ වනවිට පාකිස්තානය ලකුණු 195ක් රැස්කරගෙන සිටියේ බංග්ලාදේශයට වඩා ලකුණු 549ක් ඉදිරියෙනි.

පාකිස්තාන පළමු ඉනිමේදී අසාර් අලී තම මංගල ජාත්‍යන්තර ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කරමින් ලකුණු 226ක් රැස්කළ අතර යුනුස් ඛාන් ලකුණු 148ක් හා අසාඩ් සාෆික් ලකුණු 107ක් එක් කළහ.

අද තරගයේ සිවුවැනි දිනයයි.

පාකිස්තාන පළමු ඉනිම-557/8 (ඕවර 152) ඉනිම අත්හිටුවන ලදි. අසාර් අලී 226, යුනුස් ඛාන් 148, අසාඩ් සාෆික් 107 (තයිජුල් ඉස්ලාම් 179/3) සහ දෙවැනි ඉනිම-195/6 (ඕවර 41.1) ඉනිම අත්හිටුවන ලදි. මිස්බා උල් හක් 82, යුනුස් ඛාන් 39 (මොහම්මඩ් සහීඩ් 23/2)

බංග්ලාදේශ පළමු ඉනිම-203 (ඕවර 47.3) සකීබ් අල් හසන් නොදැවී 89, ඉම්රුල් කයිස් 32 (යෂීර් සහා 58/3, වහබ් රියාස් 73/3, ජුනයිඩ් ඛාන් 26/2) සහ දෙවැනි ඉනිම-63/1(ඕවර 14)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා