ආසියානු ෆයිව් නේෂන්ස් රගර් තරගාවලියේ ශ්‍රී ලංකාව අද පිලිපීනය සමඟ අවසන් සටනට

ආසියානු ෆයිව් නේෂන්ස් රගර් තරගාවලියේ ශ්‍රී ලංකාව අද පිලිපීනය සමඟ අවසන් සටනට

ලබන වසරේ දී ආසියානු සුපිරි රටවල් පහේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ අරමුණින් ෆාසිල් මරිජාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල අද (9) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට පිලිපීනය සමග තරග බිමට පිවිසෙයි.

ආසියානු ෆයිව් නේෂන්ස් පළමු කොටසේ රගර් තරගාවලියේ අවසන් මහා තරගය ලෙස පැවැත්වෙන මේ තරගයට ශ්‍රී ලංකාව එක්වන්නේ පසුගිය වසරේ තරගාවලියේ දි පිලිපීනය වෙතින් ලැබූ ලකුණු 27-26ක සියුම් පරාජයේ අත්දැකීමත් මතකයේ රඳවා ගනිමිනි. පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවේ කසකස්තානය සමග පැවැති තරගයෙන් ලකුණු 35-14ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගය.

එම තරගයේ ආරම්භයේ සිටම කසකස්තාන පිලට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකාව ලකුණු 22-7ක් ලෙස තරගයේ පළමු භාගය නිමා කරගැනීමට සමත්විය. වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් දෙවැනි භාගයේ දී කසකස්තාන ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් ගෙන දෙමින් ජයග්‍රාහීව තරගය නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.

ශ්‍රී ලංකා පිල එම තරගයේ දී ගෝල තුනක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3ක් වාර්තා කිරිමට සමත්වූ අතර කසකස්තානයට රැස් කිරිමට හැකිවූයේ ගෝල දෙකක් පමණි. ශ්‍රී ලංකා පිලේ ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර දුලාජ් පෙරේරා සහ ලවංග පෙරේරා උත්සාහක දිනුම් එක බැගින් වාර්තා කළහ. රීසා මුබාරක්, කාංචන රාමනායක සහ දුලාජ් පෙරේරා දඬුවම් පහර රැස් කිරීමට සමත්වූහ.

මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වන දකුණු අප්‍රිකානු ජාතික ජොහාන් ටේලර්ගේ පුහුණුකාරීත්වයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවට දැඩි තරගයක් දීමේ බලාපොරොත්තුවෙන් සිටින සත්කාරක පිලිපීනය අවසන් මහා තරගයට එක්වූයේ සිංගප්පූරුවට එරෙහිව ලකුණු 20-17ක ජයග්‍රහණයක් ලබාගැනීමත් සමගය. එම තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 10-0කින් පෙරමුණ ගැනීමට සිංගප්පූරුව සමත්වූව ද දෙවැනි භාගයේ ආක්‍රමණශීලී තරග රටාවක නිරතවූ පිලිපීනය සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේ ගෝල් දෙකක් සහ දඬුවම් පහර දෙකක් සමගිනි. සිංගප්පූරුවට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුම් දෙකක් පමණි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා