අයි.සී.සී. අනව‍බෝධය ඇමැති හමුවෙන් දුරුවෙයි

අයි.සී.සී. අනව‍බෝධය ඇමැති හමුවෙන් දුරුවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව අතර කරුණු කිහිපයකට අදාළව පැවැති අනවබෝධය නැති කිරීමට දෙපාර්ශවය අතර මුහුණට මුහුණ පැවැති සාකච්ඡාවකදී හැකිවූ බව සංචාරක හා ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

ඩුබායිහී පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කාර්යාලයේදී ඇමැති නවීන් දිසානායක, ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි, ලේකම් ප්‍රකාශ් ශා‍ෆ්ටර්, සාමාජික නුස්කි මොහොමඩ් මහත්වරුන් හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවි රිචර්ඩ්සන් සහ එහි උපදේශක ඉයන් හිගින්ස් මහත්වරු අතර සාකච්ඡාව පැවැත්විණි.

දෙපාර්ශවය අතර පැවැති එම සාකච්ඡාවේදී මෑතකදී පත් කළ අන්තර් පාලන කමිටුවේ වත්මන් තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු වූ අතර ක්‍රීඩා ඇමැතිවරයා විසින් මේ පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය කිසියම් අනවබෝධයකින් පසුවන්නේ නම් එම අනවබෝධය දුරලීමටත් අවධානයට ලක්ව ඇති ඇතැම් කරුණු නිරාකරණය කර ගැනීමත් මේ සාකච්ඡාව උපකාරී වූ බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය කියයි.

ඉදිරියේදී ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී සහ උද්යෝගිමත් සාමාජිකයකු ලෙස අඛණ්ඩව ක්‍රියාත්මකවීම සඳහා මේ සාකච්ඡා උපකාරී වනු ඇති බවත් නිවේදනයේ දැක්වේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා