යුනිෆයිට් සම්මේලනයේ නිලවරණය හෙට

යුනිෆයිට් සම්මේලනයේ නිලවරණය හෙට

ශ්‍රී ලංකා යුනිෆයිට් සම්මේලනයේ නිලවරණය හා මහා සභා රැස්වීම ‍හෙට (10) ප.ව.2.00ට පානදුර යුනිෆයිට් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මෙහිදී 2015/16 වර්ෂ සඳහා නව නිලධාරී මඩුල්ලක් පත් කරගැනීම මෙන්ම යුනි‍ෆයිට් ක්‍රීඩාව පිළිබඳ විශේෂ හඳුන්වාදීම, ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග, ඉදිරි තරග හා වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කිරීමටත් නියමිතය.

මෙදින නව තීරක විනිසුරුවන්, පුහුණුකරුවන්, උපදේශකයන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ නියෝජිතයන් හා ක්‍රීඩාවේ නිරතවීමට කැමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ලියාපදිංචි විය හැකිය. මේ සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකරන බව සම්මේලනය පවසයි.

යුනිෆයිට් ක්‍රීඩාවේ අංශ ගණනාවකින් දස්කම් දක්වමින් ජාත්‍යන්තරය නියෝජය කර ඇති උදිත පිරීස් මහතා මෙරටට හඳුන්වාදී ඇති ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ලියාපදිංචි ක්‍රීඩා සමාජ 20ක් පමණ එක්වී සිටී.

කාන්තා/පිරිමි බර පන්තී යටතේ අදියර දෙකකින් මෙය සමන්විතය වෙයි. හමුදාමය ක්‍රියාකාරකම්, ඉලක්කයට වෙඩි තැබීම, බාදක තරණය පළමු අදියරට අයත් වන අතර දෙවැනි අදියර සටන් සටන් කිරීම වේ. මෙය ප්‍රධාන වශයෙන් ක්ලැසික්/ලයිට් යුනිෆයිට් හා යුනිෆයිට් සබ්මිෂන් රෙස්ලින්/ග්‍රැපලින් ඉසව් යටතේ පැවැත්වෙයි.

මේ ක්‍රීඩාවට මල්ලවපොර, ජූ‍ඩෝ, කුරාෂ්, වූෂු, බොක්සිං, සම්බෝ, කරාතේ, රසියන් ඔල් රවුන්ඩ් ෆයිටින්, අංගම්පොර, ජුජුට්සු, කික් බොක්සිං, මික්ස් මාෂල් ආර්ට් වැනි ඕනෑම සටන් කලාවක්ද, වෙඩි තැබීම ඇතුළු හමුදාමය ක්‍රියාකාරකම්හී දක්ෂතා දක්වන්ටද පහසුවෙන් නිරත විය හැකි ක්‍රීඩාවකි. මේ පිළිබඳ වැඩි විස්තර නො.18/1. ශ්‍රී පේමානන්ද මාවත, බෙක්කේගම, පානදුර දු.ක 0785167721 (උදිත පීරිස්) හෝ www.unifightsrilanka.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා