කොල්කටා පිල තෙවැනි තැනට එයි

කොල්කටා පිල තෙවැනි තැනට එයි

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට එමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල පෙරේදා සමත්විය.

තරගාවලියේ 42වැනි තරගය ලෙස කොල්කටාහිදී පැවැති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ලකුණු 13කින් පරාජය කරමින් කොල්කටා පිල මේ ජය අත්කර ගත්තේය. දිල්ලි පිල තරග 7ක් පරාජයවී ප්‍රසාද ලකුණු සටහනේ 7වැනි ස්ථානයේ පසුවෙයි.

කොල්කටා පිල ලබාගත් ලකුණු 171ක ඉලක්කය හඹාගිය දිල්ලි පිලට ඕවර 20 අවසාන‍යේ කඩුලු 6ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 158ක් පමණි.

පිළිතුරු ඉනිමේදී ශෙයාස් අයියර් ලකුණු 40ක්, මනෝජ් තිවාරි හා ජේ.පී.ඩුමින් ලකුණු 25ක් බැගින් රැස්කළද ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 2ක් හා හයේ පහරක් සමගින් පන්දු 15කින් ලකුණු 22ක් රැස් කළේය.

පන්දු යැවීමේදී පියුෂ් චව්ලා ලකුණු 32කට කඩුලු 4ක් දවාගත් අතර ඔහු තරගයේ වීරයා ලෙසද නම් කෙරිණි.

කාසියේ වාසිය දිනූ කොල්කටා පිල කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කළේය. වේගවත් ඉනිමක් දියත් කළ යූසෆ් පතාන් පන්දු 24කින් ලකුණු 42ක් වාර්තා කළේ හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමිනි. රොබින් උතප්පා ලකුණු 32ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී ඉම්රාන් තහිර් කඩුලු 2ක් දවාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ඕවර 2කදී ලකුණු 13ක් ලබාදුන් අතර කඩුල්ලක් දවාගැනීමට නොහැකි විය.

කොල්කටා-171/7 (ඕවර 20) යූසෆ් පතාන් 42, රොබින් උතප්පා 32 (ඉම්රාන් තහිර් 46/2)

දිල්ලි-158/6 (ඕවර 20) ශෙයාස් අයියර් 40, මනෝජ් තිවාරි 25, ජේ.පී.ඩුමිනි 25 (32/4)

හයිද්‍රබාද් පිලට ජය

රාජස්ථාන් රෝයල්ස් පිල සමග පැවැති තරගාවලියේ 41වැනි තරගයේ තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් හිමිකර ගැනීමට සන්රයයිසස් හයිද්‍රබාද් පිල සමත්විය. මේ සමග තරග 5ක් ජයගනිමින් හයිද්‍රබාද් පිල ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි ස්ථානයේ පසුවන අතර තරගය පරාජය වුවද රාජස්ථාන් පිල දෙවැනි ස්ථානයේම පසුවෙයි.

මුම්බායිහිදී පැවැති තරගයේ දී හයිද්‍රබාද් පිල ලබාදුන් ලකුණු 202ක ඉලක්කය හඹාගිය රාජස්ථාන් පිලට ඕවර 20 තුළ රැස්කරගත හැකිවූයේ ලකුණු 194ක් පමණි. ඒ සඳහා ඔවුන්ට කඩුලු 7ක් අහිමිවිය.

රාජස්ථාන් පිළිතුරු ඉනිමේදී ස්ටීවන් ස්මිත් හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමග ලකුණු 68ක් රැස්කළේ පන්දු 40කට මුහුණ දෙමිනි. වේගවත් පිතිහරඹයක් දියත්කළ ක්‍රිස් මොරිස් පන්දු 11කින් ලකුණු 34ක් හා ජෙම්ස් ෆෝක්නර් පන්දු 19කින් ලකුණු 30ක් රැස්කළද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් කඩුලු 3ක් දවාලීය.

ඔයින් මෝගන්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් රාජස්ථාන් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රබාද් පිල ලකුණු 201ක් රැස් කළේය. මෝගන් ලකුණු 63ක් රැස් කළේ හතරේ පහර 4ක් හා හයේ පහර 5ක් සමගින් පන්දු 28ක් පමණක් වැය කරමිනි.

ශිකර් ධවාන් පන්දු 35කින් ලකුණු 54ක් වාර්තා කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් ඇතුළත් විය. පන්දු යැවීමේදී ෂේන් වොට්සන් කඩුලු 2ක් බිඳ දැමීය.

තරගයේ වීරයා සම්මානය ඔයින් මෝගන්ට හිමිවිණි.

හයිද්‍රබාද්-201/4 (ඕවර 20) ඔයින් මෝගන් 63, ශිකර් ධවාන් 54 (ෂේන් වොට්සන් 36/2)

රාජස්ථාන්-194/7 (ඕවර 20) ස්ටීවන් ස්මිත් 68, ක්‍රිස් මොරිස් නොදැවී 34, ජේම්ස් ෆෝක්නර් 30 (බුවනේෂ්වර් කුමාර් 44/3)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා