මුද්‍රණය සඳහා

 
බ්‍රිතාන්‍ය ඡන්දයෙන් කැමරන්ගේ පක්ෂයට ජය ලැබෙන ලකුණු

බ්‍රිතාන්‍ය ඡන්දයෙන් කැමරන්ගේ පක්ෂයට ජය ලැබෙන ලකුණු

මැතිවරණයේ වැඩිම වාසිය ස්කොට්ලන්ත වැසියන්ට

විසි හැවිරිදි මේරි බ්ලැක් ඉතිහාසගත වාර්තාවක

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පෙරේදා පැවැති අතර ඊයේ පෙරවරුව වනවිට අගමැති ඩේවිඩ් කැමරන්ගේ කොන්සර්වැටිව් පක්ෂය විශ්මිත ජයග්‍රහණයක් අත්පත් කරගන්නා මඟකට පිවිස තිබුණු නමුත් අවසන් මැතිවරණ ප්‍රතිඵල අනුව බිහිවනු ඇත්තේ සුළුතර රජයක් බව පුරෝකථනවලින් පැවැසේ.

සීමිත මත විමසුම්වලින් සිදුකළ පුරෝකථනවලට අනුව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ දෙක වන කොන්සර්වැටිව් හා කම්කරු පක්ෂ අතර කරටකර තරගයක් පැවැතිණ. ඒ සමඟම මෙම මැතිවරණයෙන් ස්කොටිෂ් ජාතිකවාදීන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත්වන බව පෙනී ගොස් ඇති අතර ඒ අනුව ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්ව යාමේ ප්‍රශ්නය යළි උද්ගතවනු ඇතැයි සැලකේ.

බ්‍රිතාන්‍යයේ ජාතික ගුවන් විදුලිය පවත් වන ලද සීමිත මත විමසුම් අනුව කොන්සර්වැටිව් පක්ෂයට ආසන 316ක් ද එඩ් මිලිබෑන්ඩ්ගේ කම්කරු පක්ෂයට ආසන 239ක් අත්වනු ඇතැයි ප්‍රකාශ වී ඇත. මෙහිදි කොන්සර්වැටිව් පක්ෂයට ආසන 326ක බහුතරයක් හිමි නොවනු ඇතැයි සැලකෙන නමුත් සුළු පක්ෂවල සහායෙන් සුළුතර රජයක් ගොඩනඟාගත හැකිවනු ඇතැයි පැවැසේ. කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ එම රජයට රැඩිකල් තීන්දුවලට එළැඹීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව විශ්ලේෂකයෝ පවසති.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සම්බන්ධයෙන් ඊයේ මධ්‍යාහ්නය වන විට ලැබී තිබුණු ප්‍රතිඵල අනුව ඒ ඒ පක්ෂ ලබා තිබුණු ආසන සංඛ්‍යාව මෙසේය.

* කොන්සර්වැට්ව් පක්ෂය - 310
* කම්කරු පක්ෂය - 224
* ස්කොට්ලන්ත ජාතික පක්ෂය - 56
* ලිබරල් ඩිමොක්‍රැටික් පක්ෂය - 08
* ඩිමොක්‍රැටික් යුනියනිස්ට් පක්ෂය - 08
* සින්ෆෙන් පක්ෂය - 04

මැතිවරණයෙන් විශාලම පරාජය අත්වනු ඇතැයි පෙනී ගොස් ඇත්තේ මෙතෙක් කොන්සර්වැටිව් පක්ෂය සමඟ සන්ධාන ගතව සිටි ලිබරල් ඩිමොක්‍රැටික් පක්ෂයටයි. ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඔවුන් දැනටමත් විශාල පරාජයක් අත්පත් කරගෙන තිබේ. කලින් ආසන 56ක් හිමිව තිබුණු ඔවුන්ට මෙවර ආසන 10ක් පමණක් ඉතිරිවනු ඇතැයි සැලකේ.

කොන්සර්වැටිව් පක්ෂයට පැහැදිලි බහුතරයක් හිමි නොවන බව පෙනී ගොස් ඇති බැවින් යළිත් සභාග රජයක් බිහිවනු ඇති බවත් එහිදී යුරෝපා සංගමය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත් වීමේ කැමරොන්ගේ පොරොන්දුව මත වෙනත් පක්ෂ ඔවුන් සමඟ සන්ධාන ගතවනු ඇති බවටත් සැලකේ.

දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව මූලික ආසන කීපයකම නිදහස්කාමී ස්කොටිෂ් ජාතික පක්ෂයට කම්කරු පක්ෂය පරාජය වී තිබෙන අතර ස්කොටිෂ් ජාතික පක්ෂය උතුරු සී‍මාවේ ආසන 59න් එකක් හැර අන් සියල්ල ජයගනු ඇතැයි මත පළවේ. මෙහිදී කම්කරු පක්ෂයේ මැතිවරණ ව්‍යාපාර ප්‍රධානි ඩග්ලස් ඇලෙක්සැන්ඩර් පරාජය කරමින් ජයගත් ස්කොටිෂ් ජාතික පක්ෂයේ 20 හැවිරිදි මේරි බ්ලැක් 1667 න් පසු බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් ලත් ලාබාලම තැනැත්තිය වනු ඇතැයි පැවැසේ. ඇය තවමත් ග්ලාස්ගේ විශ්විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටින්නීය. ස්කොටිෂ් කම්කරු පක්ෂ ප්‍රධානියා ද මෙම ජාතික පක්ෂයට පරාජය වී ඇත.

කොන්සර්වැටිව් පක්ෂය පැහැදිලි බහුතරයක් දිනාගැනීමට සමත් නොවනු ඇති බැවින් ලිබරල් ඩිමොක්‍රැටික් පක්ෂය හෝ උතුරු අයර්ලන්ත ප්‍රජාතන්ත්‍රිය යුනියනිස්ට් පක්ෂය වැනි සුළු පක්ෂ සමඟ එක්වීමට සිදුවනු ඇතැයි ද මෙහිදී සුළු පක්ෂ සමඟ කෙරෙන සාකච්ඡා දින ගණන් ඇදී යනු ඇතැයි ද විශේෂඥයෝ පවසති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]