ඉතාලි ෆියුමි‍සිනෝ ගුවන් තොටු පොළේ ගින්නක්

ඉතාලි ෆියුමි‍සිනෝ ගුවන් තොටු පොළේ ගින්නක්

දහස් ගණනක් මඟීහු අසීරුවේ

ඉතාලියේ රෝම නගරයේ ෆියුමි‍සිනෝ ගුවන් තොටු පොළේ පර්යන්තයක පෙරේදා ඇතිවූ දරුණු ගින්නක් හේතුවෙන් ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අවලංගු කිරීම නිසා මගීන් දහස් ගණනක් අතරමං වූහ. අන්තර්ජාතික ගුවන් ගමන් සඳහා යොදා ගන්නා අංක3 දරන පර්යන්තයේ අවන්හලක විදුලි කාන්දුවකින් ගින්න හටගෙන තිබුණු බවත් ඒ නිසා පැය කිපයක් තිස්සේ ගුවන් තොටු පොළ වසා දමා තිබුණු බවත් සඳහන්ය. ගින්න හටගෙන තිබුණේ මැදියම් රෑ පසුවීමත් සමඟය. එය පාලනය කිරීමට පැය පහක පමණ කාලයක් ගතව තිබිණ. ගින්නෙන් සාප්පු තිරූවක් විනාශ වී තිබේ.

ගුවන් තොටුපොළ යළි විවෘත කිරීමෙන් පසු දහස් ගණන් මඟී ජනතාව සමඟ එහි මහත් කළබැගෑනියක් හටගෙන තිබිණ. සිදුව ඇත්තේ‍ කුමක්දැයි මඟින් නිශ්චිතව නොදැන සිටි අතර බියට පත් ගුවන් තොටු පොළ කාර්ය මණ්ඩලය මඟීන්ගේ අවශ්‍යතා සපුරාලීමට දැඩි වෙහෙසක් ගත්හ.

ගුවන් තොටු පොළ බලධාරින් විසින් ඊයේට නියමිත ගුවන් ගමන්වලින් අඩක්ම අවලංගු කරන‍ ලෙස ගුවන් සේවාවන්ගෙන් ඉල්ලා තිබිණ. ඇතැම් ගුවන් සේවාවන්ගේ මුළු කාලසටහනම අවලංගු ‍කර තිබේ. මේ අතර ගිනි ගත් පර්යන්තයේ සේවකයන් තිදෙනකු දුම ආඝ්‍රාණය වීමෙන් අපහසුතාවට පත්වීම නිසා ප්‍රතිකාර ලබා දී ඇති නමුත් කිසිවකු බරපතළ තුවාල ලබා නැති බව සඳහන්ය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා