හොලිවුඩ් නිළි ලින්ඩ්සේ ප්‍රජා සේවාව නොකළොත් සිරදඬුවම්

මාර්ග නීති කඩා වැරදිකාරිය වූ

හොලිවුඩ් නිළි ලින්ඩ්සේ ප්‍රජා සේවාව නොකළොත් සිරදඬුවම්

විනිසුරුගෙන් රතු එළි

ලින්ඩ්සේ ලොහාන් නම් අමෙරිකානු සිනමා නිළියට නොසැලකිලිමත් ලෙස රිය පැදවීමේ වරදට දඬුවම් වශයෙන් නියම වූ පැය 125ක ප්‍රජා සේවාව ඉදිරි තෙසතියේදී සපුරාලීමට ඇය අසමත් වූවොත් සිරදඬුවම් ලබා දෙන බවට අධිකරණ විනිසුරුවරයකු පෙරේදා අනතුරු ඇඟවීමක් කර තිබේ.

දැනට ලන්ඩනයේ වාසය කරන ඇය මේ දක්වා සපුරා ඇත්තේ පැය 9ක ප්‍රජා සේවාවක් පමණි. එහෙයින් මැයි 28ට පෙර ඉතිරිය සපුරාලීමට අසමත් වූවොත් එහි විපාක වශයෙන් සිපිරිගෙයි තපින්නට ඇයට සිදුවනු ඇතැයි එක්සත් ජනපද විනිසුරු මාක් යන්ග් ප්‍රකාශ කර ඇත.

මේ අතර ඇගේ නීතිවේදියා පවසා ඇත්තේ ලන්ඩනයේ දී ඇයට එම ප්‍රජා සේවා සපුරාලීමට නොහැකිව ඇත්තේ ගමන් කිරීමට කාලය වැය වන අතර අධික වියදම් දැරීමට සිදුව ඇති නිසා බවය. මේ නිසා දිනකට ඒ වෙනුවෙන් ගත කළ හැකි කාලය සීමිත බව ඔහු පෙන්වා දී ඇත.

කෙසේවෙතත් ඇය නිව්යෝර්ක් නගරය වෙත පැමිණ බෲක්ලින් ප්‍රජා කේන්ද්‍රයේදි ළමයින් සමඟ කටයුතු කරමින් එම සේවාව සපුරාලිය යුතු බව විනිසුරුවරයා පවසා තිබේ.

28 හැවිරිදි ඇයට නිශ්චිත කාලයේ ප්‍රජා සේවාව සපුරාලීමට නොහැකි වූවොත් ඇයට18 මසක සිරදඬු‍වමක් නියම වන්නේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා