ෆැසිස්ට් වියරුව පැරද වූ මොස්කව් යුද සැමරුම යුක්‍රේනය වෙනස් කරයි

ෆැසිස්ට් වියරුව පැරද වූ මොස්කව් යුද සැමරුම යුක්‍රේනය වෙනස් කරයි

දෙවන ලෝක යුද්ධයේ නාසි ජර්මනියේ පරාජය අනුස්මරණය කරමින් වාර්ෂිකව මැයි 9 දා පවත්වන ජයග්‍රාහි‍ දිනයේ 70 වන සංවත්සරය මෙවර සැමරීමේදී යුක්‍රේනය වෙනස් මඟක යමින් එම දිනයත් භාවිත සංකේතය පමණක් නොව එහි නාමයත් වෙනස් කර තිබේ.

ඒ අනුව පූර්ව සෝවියට දේශයට අයත්ව තිබුණු යුක්‍රේනය මේ සැමරුම් දිනය මැයි 8 වනදා වූ ඊයේට යොදාගෙන තිබිණ. එසේම ඒ සඳහා යොදා ගැනුණු ජයග්‍රාහි දිනය යන්න වෙනුවට එය අනුස්මරණ හා සංහිදියාවේ දිනය යනුවෙන් ඔවුන් හඳුන්වා ඇත.

තවද රුසියාව පුරා එම දිනය සංකේතවත් කරන තැඹිලි හා කාල වර්ණ ශාන්ත ජෝර්ජ් රිබනය වෙනුවට බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු යුරෝපිය රටවල් භාවිත පොපිමලින් මේ දිනය සංකේතවත් කිරීමට යුක්‍රේනය ක්‍රියා කර තිබේ. මේ හැර රුසියාවේ ජයග්‍රාහි දිනය එරට රතු චතුරශ්‍රයේ දී හමුදා ආචාර පෙළපාළි හා යුද ශක්තිය පිළිබිඹු කරමින් මහත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන නමුත් යුක්‍රේනය මෙවර ඔවුන්ගේ අනුස්මරණ හා සංහිඳියාවේ දිනය යුරෝපිය හමුදා තූර්ය වාදන සහිතව සාම පාදයාත්‍රාවක් ලෙස පැවැත් වීමට කටයුතු සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති පෙට්රො පොරෝෂෙන්කෝ පවසා ඇත්තේ රුසියාව මෙන් මේ දිනය ආක්‍රමණකාරි යුද ශක්තිය පිළිබිඹු කිරීමට නොව දෙවන ලෝක යුද්ධයේදි දිවි පිදූවන් අනුස්මරණය කිරීමට පමණක් යොදා ගන්නා බවය. තවද දෙවන ලෝක යුද ගැටුම හැඳින් වීමට රුසියාව යොදා ගන්නා ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය යන්න සඳහන් නොකර එය දෙවන ලෝක යුද්ධය ලෙසම හැඳින් වීමට යුක්‍රේනය පෙළැඹී තිබේ.

මේ සියලු වෙනස්කම්වලට ඔවුන් පෙළඹී ඇත්තේ පූර්ව සෝවියට් දේශයෙන් වෙන්වී ස්වාධීනත්වය ලැබීමෙන් විසි පස් වසරකට පසු දැන් රුසියාව සමඟ පවත්නා අර්බුදය හේතු‍ කොටගෙනයි.

මෑතකදී යුක්‍රේනයට අයත්ව තිබුණු ක්‍රිමියා අර්ධද්විපය යළිත් රුසියාවට ඈඳාගැනීමෙන් පසු බෙදුම්වාදී ගැටුමකට රුසියාව මුල පුරා ඇතැයි යුක්‍රේනය චෝදනා කර තිබේ. යුක්‍රේනයේ මෙම නව වෙනස්කම් රුසියාව කෝප ගැන්වීමට හේතුවිය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා