පහන් වෙනුවට උණ්ඩ පත්තුකර මළගිය ප්‍රාණකාරයාට පණ දෙන උත්සාහය

පහන් වෙනුවට උණ්ඩ පත්තුකර මළගිය ප්‍රාණකාරයාට පණ දෙන උත්සාහය

දේශපාලන පොර පිටියට අලූතෙන් ම එක් වූ සටන් පාඨය ‘මහින්ද සමග නැගිටිමු’ යන්න ය. ඉකුත් ජනවාරියෙහි සිට හැංගි හොරා සැකැසූ මෙම සටන් පාඨය මුල් වරට එළිබැස්සේ පසු ගිය මැයි දිනයත් සමග ය. මැයි දිනය ජගත් කම්කරු දිනය ය. එම දිනය ස්ථාපිත වූයේ ද චිකාගෝ නුවර කම්කරුවන් ගේ ජීවිත පරිත්‍යාගයෙනි. කම්කරු ප්‍රඥප්තියක් පොරොන්දු ව බලයට පත් වූ පසු එය අමතක කළ හා නිදහස් වෙළෙඳ කලාපයෙහි සහ වෙනත් තැන්වල කම්කරු සටන් මර්දනයෙන් මැඩ ලූ, කම්කරුවන්ට මරණය පවා අත් කැරැ දුන් පුද්ගලයෙකු වෙනුවෙන් මෙරට පමණක් නොව ලෝකයෙහි ම කම්කරුවන් ගේ ඒ උතුම් දිනය කැප කැරීමට තරම් මෙරට කම්කරු සමිති ව්‍යාපාරය සහ ඊනියා වාම නායකයන් පිරිහීම සැබැවින් ම ඛේදජනක ය.

අනතුරු ව, කුරුණෑගල පැවැති රැළියක දී මහත් උජාරුවෙන් ඔසවන ලද එම ධජයෙන් ඇත්තට ම ආරාධනා කැරැ ඇත්තේ මහින්ද සමඟ ඇද වැටුණු පිරිස්වලට ය. මෙරට බහුතර ජනතාවට මහින්ද සමඟ නැඟිටීමට වුවමනාවක් නැත. මන් ද යත් ඔවුන් දැනට මත් නැගිට සිටිනා බැවිනි.

මහින්ද නැගිටුවා සිටවීමෙහි පින්කමට හෝ පාප කර්මයට හෝ අත ගැසීමට පෙර සිහි බුද්ධිය ඇති කවුරුන් විසින් හෝ ඇසිය යුතු ප්‍රශ්න කිහිපයෙකි. එනම් මහින්ද වැටුණේ ඇයි? මහින්ද නැගිටුවිය යුතු ද? එසේ නම් ඒ මන් ද?

මහින්ද සහ ඔහු ගේ ගෝලබාලයන් කියන්නේ මහින්ද වැටුණේ අන්තර්ජාතික කුමන්ත්‍රණයකින් සහ උතුරු නැ‍ෙඟනහිර ඡන්ද නොලැබුණු නිසා බව යි. මහින්ද වැටුණේ මැතිවරණයෙහි දී මිස පය ලිස්සා නො වේ. මැතිවරණයට දින නියම කෙළේ ද ඔහු ම ය. එසේ නම් කුමන්ත්‍රණයෙහි පළමු වැනි විත්තිකරු ඔහු විය යුතු නො වේ ද? උතුරු නැ‍ෙඟනහිර ඡන්දයෙන් තමන් පැරැදුනා යි කීමෙන් මහින්ද කරන්නේ ජාතිවාදයට අත වැනීමකි. මැතිවරණ ව්‍යාපාරය පුරාමත් සිය ධූර කාලය පුරාමත් ඔහු කෙළේ ජාතිවාදයට ආවැඩීම ය. එපමණක් නොව ඔහු දෙමළ සහ මුස්ලිම් ජනතාවන්ට එරෙහි නව මූලධර්මවාදී සංවිධානවලට අනුග්‍රහය සපයමින් ඒවා පෝෂණය කෙළේ ය.

ජාතීන් බෙදා වෙන් කැරීම බලය රඳවා ගැනීමෙහි මාර්ගය බව ඔහු සිතූ අයුරු පෙනී ගියේ ය. මෙම තත්ත්වය තුළ උතුරු නැ‍ෙඟනහිර පමණක් නොව දිවයිනේ සෙසු පළාත්වල ජනතාව ද ඔහුට එරෙහි ව ඡන්දය ප්‍රකාශ කැරීම පුදුමයට කරුණත් විය නොහැකි ය.

සියල්ලට මත් වඩා ජනතාව විරෝධය පෑවේ ඔහු ගෙන ගිය අත්තනෝමතික පවුල්වාදී ඒකාධිපතිත්වයට ය. ඉහ වහා ගිය මර්දනයකින් ජනතාව පෙළුණු අතර ජන මාධ්‍ය සියල්ල ම වාගේ ඔහු ගේ ග්‍රහණයට ගෙන තිබිණි. ඔහු අනුගමනය කළ ගජ මිතුරු ධනවාදයෙන් සැප වින්දේ සීමිත නව ධනේශ්වරයක් පමණි.

එපමණක් ද නො වේ. අල්ලස දූෂණය සහ රාජ්‍ය දේපොළ අවභාවිතයෙහි සීමාවක් නො වී. ඊනියා සංවර්ධනයෙහි ප්‍රතිලාභ භුක්ති වින්දේ ද ඔහු වටා සිටි අතලොස්සකි. ජනතාවට එම ප්‍රතිලාභ අත් වූයේ නැත. සිදු ව ඇති මහා පරිමාණ වංචා දූෂණ ආදියෙහි තොරතුරු දැන් දැන් අනාවරණය වෙමින් පවතී.

මහින්ද නැගිටුවාලන්නේ මෙම තත්ත්වය යළි ගෙන ඒමට නම් එයින් ජනතාවට වැඩක් නැත. ඔහු වැටී සිටීම ම ජනහිතකාමී ය. මහින්ද නැගිටුවන්නට හදන්නේත් මහින්ද නැගිටින්නට හදන්නේත් කුමකට දැයි දැන් හෙළිව හමාර ය. ඔහු කැස කවන්නේ යළි ජාතිවාදය වැපිරීමට ය. ජාතික සමඟිය පලූදු කැරීමට ය.

නැති බිල්ලෙකු මවා යළි හමුදාකරණයට සිවිල් පාලනය ගොදුරු කැරීමට ය. මුලින් මුලින් මහින්ද තිරයෙන් පිටුපස සිට තිර රචනය ලියා දී රඟපෑම විකට චරිත හතරකට පැවැරී. ජන බලයෙන් ඌන එම හතර දෙනා ගේ කල්ලිය ගෙන ගිය සර්කස් සංදර්ශනයට ජරාව කා වමාරා ගත නොහැකි වල සිපිරි ගෙදරින් ගැලැවෙනු රිසි ගෝලබාලයෝ කැමැත්තෙන් ඉදිරිපත් වූයේ පක්ෂ විනය පවා නොතකමිනි. නගරයෙන් නගරයට යන මෙම අහිගුණ්ඨික තවලමත් සමඟ රට වටා යන්නේ එකම නඩයකි.

ප්‍රාදේශීය සභාවෙහි සිට ඇමති මණ්ඩලය දක්වා ම වන ගසා කන්නෝ එහි වෙත්. පළාත් පාලන

ආයතන කාලය අවසන් වීමෙන් එයින් ඇතැම්හු අද දණ්ඩෙන් පහර ලත් සර්පයන් මෙන්

ප්‍රතිප්‍රහාරයට විෂ දළ අමෝරා සිටිත්.ඇත්තට ම පවතින්නේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක් නොව වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමෙහි යෙදෙන දේශීය කුමන්ත්‍රණයකි. මොවුන් ගේ මුල් ම පියවර වූයේ නව ආණ්ඩුව බලයට ඒම ද වළක්වමින් මැතිවරණ ප්‍රතිඵල වෙනස් කරවා සන්නද්ධ බලයෙන් දිගට ම බලයේ රැඳී සිටීමට තැත් කැරීම ය.

කෙසේ නමුදු එය ව්‍යර්ථ වූයෙන් දෙවැනි පියවර වූයේ ජනපතිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර පිරිනමා එහි මහින්ද ගේ බහුතරය ලවා ඔහු කොටු කැරීම යි. ඒ සමඟ ම විරුද්ධ පක්ෂයෙහි නායක තනතුර ද එම පක්ෂයට ම ගෙන පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් කැරිණි. මහින්ද ගේ ගෝලයෝ විටෙක ආණ්ඩු පක්ෂය ලෙසින් ද විටෙක විපක්ෂය ලෙසින් ද දෙකොනින් කතා කරත්. නැත්නම් කොටසක් ආණ්ඩුව වෙනුවෙන් ද කොටසක් විපක්ෂය වෙනුවෙන් ද කතා කරත්. ඒ අතර එකම පක්ෂ විනයකින් බැඳී සිටිත් ලූ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම පමා කරන්නට සහ කඩාකප්පල් කරන්නට එම පක්ෂය යොදා ගන්නා ලද්දේ ද මහින්ද ගේ අනුදැනුමැති ව ය. අවසානයෙහි ජනපති ගේ සහ අගමැති ගේ නම්‍යශීලිත්වයට සහ දක්ෂකමට පින්සිදු වන්නට 19 වැනි සංශෝධනය සංශෝධන සහිත ව වුව සම්මත වී.

මහින්ද දඟලන්නේ අගමැති තනතුර ඩැහැ ගන්නට ය. ඔහු ගේ බල තණ්හාව නිම ව නැති සේය. එ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොදවා ගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවන ලකුණූ දැන් දැන් පෙනේ. ඔහු ගේ අභිමතයෙන් ශ‍්‍රීලනිපය දැනට මත් බෙදී හමාර ය. පක්ෂ සමගිය ගැන ජප කරන අතරතුර ම ඔහු ගේ ගෝලබාලයෝ එළිපිට ම පක්ෂ විනය කඩත්. පක්ෂයට විවෘත අභියෝග කරත්. ජනපති ගේ පාලනයට ඔච්චම් කරත්. මෙහි ලා මහින් ද දෙන්නේ ද කදිම ආදර්ශයකි. ජනපති ගේ පක්ෂයෙහි ම උපදේශකයෙකැ යි කියා ගත්ත ද ඔහු ගේ හැසිරීම හතුරෙකු ගේ විලාසයක් ගනී.

මිනීමැරුම් සහ දූෂණ චෝදනාවලට ලක්වූවන් බලන්නටත්, පන්සල් පල්ලි හා දේවාලයන්හි යදින්නටත්, ඒ හැම විට ම ජන මාධ්‍ය හමුවන්නටත් කාලය ගත කරන මහින්ද තම ගෝලයන් අහිංසකයන් බව කියමින් රජයට දෙහි කපයි.

වත්මන් පාලනය යහපාලනයක් නොව යම පාලනයකැ යි කියයි. යම පාලනය කළ එකම දෙය රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගැනීම බව වරක් ඔහු කීය. රාජපක්ෂලා දෙවියෝ ද? මහින්ද වුව දැන් සාමාන්‍ය පුරවැසියෙකි. බැසිල් නම් තවමත් මන්ත්‍රී ය. නීතියට ඉහළින් ඒ කවරෙකුට වත් පැවැත්මට ඉඩ දිය යුතු නැත. තමන්ගෙන් කටඋත්තරයක් ගන්නට ඉදිරිපත් වූ අවස්ථාවෙහි ඔහු කෙළේ ගෝලබාලයන් දමා උත්තරීතර පාර්ලිමේන්තුව පවා හෑල්ලූවට ලක් වන රංගනයක් සංවිධානය කැරීම ය.

අනතුරු ව නීතිය ක්‍රියාත්මක කරවන ආයතන අකර්මන්‍ය කැරීමටත්, ඒවාට අඩන්තේට්ටම් කැරීමටත් ඔවුහු ඉදිරි පත් ව සිටිත්. අලූත් ම තැත අත්අඩංගුවට ගැනීම වලක්වා ලන නියෝග ශ්‍රේෂ්ටාධිකරණයෙන් ලබා ගැනීම ය. අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමෙහි සාමාජිකයෙකු ඉවත් වීමත් එබන්දක් දැ යි සැකයෙක් උපදී.

ඔවුන් ළඟ ඇත්තේ අපූරු තර්කයකි. හැකි නම් චෝදනා ඉදිරිපත් කරපල්ලා යැයි ඔවුහු පළමු ව මොර දුන්හ. අනතුරු ව චෝදනා ඉදිරිපත් කළ විට මෙන්න පලිගන්නවෝ යැයි බෙරිහන් දෙති. සියල්ල ම රංගනනයකි. ගැලැවිජ්ජාව සඳහා කරන විජ්ජා ය.

දැන් අප පැමිණ සිටින්නේ තවත් අලූත් රංගනයක් අබියසට ය. එය 20 වැනි සංශෝධනය අරබයා සිදු විය හැකි ය. 19 වැනි සංශෝධනයෙහි දී මෙන් ම පමා කැරීමේ වෑයම් අපට දකින්නට ඉඩ ඇත. 20 වැනි සංශෝධනය හැකි නම් සම්මත කරවා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් හොඳ ය. එහෙත් එම කාර්යය විපක්ෂ අවහිරකම් හේතුවෙන් පමා වන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඒ කටයුත්ත මතුවට තැබුවාට කම් නැත.

කෙසේ වෙතත්, මීළඟ මහා මැතිවරණය පැරැණි ක්‍රමයට ම පැවැත්වීම ප්‍රායෝගික බැවිනි. සම්මත වුව නව මැතිවරණ ක්‍රමයට අනුව ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණය ආදියට කාලය අවශ්‍ය. මෙම මොහොතේ සිහියේ තබා ගත යුතු වැදැගත් ම දෙය නම් මළ ගිය ප්‍රාණකාරයාට පණ දිය නොහැකි සේ ම එය නිරර්ථක කාර්යයක් ද වන බවයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා