සැප්තැම්බරයේ අලුත් ආණ්ඩුවක්

සැප්තැම්බරයේ අලුත් ආණ්ඩුවක්

 ජනපති මෛත්‍රී කියයි

නාම යෝජනාවලට සති දෙකක්, ප්‍රචාරක වැඩට මාස එකහමාරක්, මැතිවරණ කොමසාරිස්වරයා ඡන්දය පවත්වන දිනයක් ප්‍රකාශ කරාවි. මම සාස්තර ෙනාබලන නිසා දවස කියන්න පුළුවන් කමක් නැහැ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්මත වු ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරුව මහ මැතිවරණය පවත්වා සැප්තැම්බර් මාසයේදී නව පාර්ලිමේන්තුව රැස් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මැදුරේදී ඊයේ (20 වැනිදා) මාධ්‍ය ආයතන ප්‍රධානින් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සහ පුවත්පත් කතුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.

මීට අමතරව පාර්ලිමේන්තුව රැස්වන මේ කාලසීමාව තුළ සාකච්ඡා කෙරෙන තවත් කරුණු කිහිපයක් තිබෙන බවද එහිදී ප්‍රමුඛතාව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය බවද කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කර ඇති අතර එය පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගෙන ඒ පිළිබඳ සම්මුතියකට එළැඹීමෙන් අනතුරුවත් වෙනත් යෝජනා පිළිබඳ සාකච්ඡා සහ එකඟතාවන්ගෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.

නාම යෝජනාවන් සඳහා සති දෙකක කාලයක්ද මාස එකහමාරක කාලයක් මැතිවරණ කටයුතු සඳහාද අවස්ථාව ලබා ෙදමින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඡන්දය පැවැත්වෙන දින වකවානු දැනුම්දෙනු ඇති බවද තමන් සාස්තර ෙනාබලන නිසා ඡන්දය පවත්වන දිනය පැවසීමට හැකියාවක් ෙනාමැති බවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.

ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කර ගැනීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයකුට ලැබුණ වඩාත්ම ඵලදායි සහනය බව අවධාරණය කළ ජනාධිපතිවරයා කොමිෂන් සභා සියල්ලටම ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය, අග්‍රවිනිශ්චයකාර ධුරය වැනි නිල තල වලට පුද්ගලයන් පත් කිරීමේ බලය මේ අනුව ව්‍යවස්ථාදායක සභාවට පැවරීම එම සුවිශේෂී සහනය බවද පෙන්වා දුන්නේය.

එසේම මේ කොමිසම් සභා හා නිලතලවලට සාමාජිකයන් මෙතෙක් පත් කෙරුණේ පුද්ගල හැඳුනුම්කම්, පුද්ගල සුදුසුකම් හෝ වෙනත් පෞද්ගලික කරුණු කාරණා මත බවත් එහෙත් මින් ඉදිරියට නම් යෝජනා වන්නේත් උචිත අනුචිත බව තෝරා ගැනෙන්නේත් පත්වීම් සිදු කෙරෙන්නේත් කමිටුවක් හෙවත් ව්‍යවස්ථාදායක සභාව මගින් පාර්ලිමේන්තුවට වගකියමින් වන නිසා මේ පත් කිරීම් පිළිබඳ විවේචනයන්ගෙන් තොරව සිදු කිරීමට පූර්ණ බලය පැවරෙන බවද පැහැදිලි කළේය.

ගත වූ මාස පහක කාලය පුරා නව පාලනය ජනතාව තමන්ගෙන් ඉල්ලූ ලෙසටම ක්‍රියාවට නැංවීමට හැකි වී යැයි ආපසු හැරී බැලීමේදී සතුටු විය හැකි බවත් යහපාලනය පිළිබඳ ඇතැමුන් විවිධ මත පළ කළද ජනතාව තම ඡන්දය පාවිච්චි කළේ තමන්ගේ අභිමතය ඉෂ්ඨ කර ගත හැකි බවට සහතිකයක් ලබා දුන් තම ඡන්දය අපතේ නොයාවි යැයි සහතික විය හැකි නායකයකු මාර්ගෝපදේශකයකු හා ඔහු විසින්ම සහතික කළ යහපාලනය උදෙසා බවත් ජනපතිවරයා අවධාරණය කළේය.

මේ කාල පරිච්ඡේදය මෙන්ම ඉදිරි වසර පහ තුළද අප විසින් හඳුන්වා දුන් යහපාලනය වඩාත් තහවුරු කරන රාජ්‍ය පාලනයක් කරා තමන් සහ තම කැබිනට් මණ්ඩලය මෙහෙයවන බවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දන්වා සිටියේය.

මහ මැතිවරණය ඉතාම ආසන්නයට පැමිණ ඇති බවත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු අන් පක්ෂ සූදානම් වන ලෙසටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එයට සූදානම් වීමේ වැඩසටහන් අරඹන බවත් නාම යෝජනා සඳහා සුදුස්සන් තෝරා ගැනීම තමන් ප්‍රධාන මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන බවත් එහිදී සුදුසු නුසුදුසු කම පිළිබඳව දැඩි අවධානය යොමු කෙරෙන බවද ජනපතිවරයා පැහැදිලි කළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා