අත්හිටවූ අතුරු තහනම අදින් අවසන්

සාම්පූර් කර්මාන්ත පුර ඉඩම රජයට පවරා ගැනීම

අත්හිටවූ අතුරු තහනම අදින් අවසන්

සාම්පූර්හි යෝජිත කර්මාන්තපුරයට දිගුකාලීන බදු ව්‍යාපෘතිය යටතේ ලබා දුන් ඉඩම ගැසට් පත්‍රයක් මගින් රජයට පවරා ගැනීම අත්හිටුවමින් නිකුත් කළ තාවකාලික අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීරණය ‍කළේය. එම අතුරු නියෝගය අද (21) දිනට පමණක් බලගැන්වෙන පරිදි නිකුත් කර තිබිණි.

ඒ අනුව එම ඉඩම් සම්බන්ධයෙන් පවතින තත්ත්වය එලෙසම පැවතිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නි‍යෝග කළේය.

බැර කර්මාන්ත සඳහා පාර්ලිමේන්තු විවාදයකින් තොරව 2013 වසරේ ජනවාරි මාසයේ දී හිටපු ජනාධිපතිවරයා විසින් ලබා දුන් එම ඉඩම් නැවත පවරා ගැනීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කෙළේය. අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.

ශ්‍රී ලංකා ගේට් වේ ඉන්ඩ්‍රස්ට්‍රිස් සමාගම විසින් මෙම පෙත්සම ගොනු කරන ලදී.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් කොට සිටිති.

සාම්පූර්හි යෝජිත කර්මාන්ත පුරයට දිගුකාලීන බදු ඔප්පුවකින් ඉඩම් අක්කර 810ක් ලබාදී තිබිණි.

ඒ යටතේ තම සමාගමද කර්මාන්තයක් ආරම්භ කිරීමට ඩොලර් බිලියන 4ක් පමණ වැය කළ බවද, ඒ හරහා සෘජු රැකියා 5000ක් පමණ සහ වක්‍ර රැකියා 20,000ක් පමණ උත්පාදනය වන බවද පෙත්සම්කරු සඳහන් කර සිටියේය. එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය ඉකුත් මැයි මස 07 වැනිදා 1913/19 යටතේ නිකුත් කර තිබිණි.

තමාට කිසිදු දැන්වීමක් කිරීමකින් හෝ කරුණු විමසීමකින් තොරව එලෙස ඉඩම් නැවත පවරා ගැනීම නීතිවිරෝධී බවද ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි බව ද පෙත්සම්කරු පවසා සිටියි.

එමෙන්ම එය ආයෝජන අධෛර්යමත් කිරීමට හේතුවන බවටද සඳහන් කර තිබේ.

එබැවින් එම ඉඩම් පවරා ගැනීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.

රෝහිණි මාරසිංහ, බුවනෙක අලුවිහාරේ සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම ඉකුත් මැයි මස 15 වැනිදා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා හෝ සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමක් නොකරන ලදී. පෙත්සම සම්බන්ධ කිසිදු උපදෙසක් තමාට ලැබුණේ නැතැයි ඔවුන් අධිකරණයට පවසා තිබේ. එසේ තිබියදී අදාළ ගැසට් නිවේදනය අද (21) දින තෙක් ක්‍රියාත්මක වීම වළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඊයේ (20) මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී සාම්පූර්හි අවතැන් ජනතාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙත්සම සහ අතුරු නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය.

මෙම ඉඩම්වල අවතැන් පවුල් 850ක් 2012 වසරේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමටවත් අවසර දී නැති අතර එසේ තිබියදී මෙම පෙත්සම සම්බන්ධ නොතිසි වගඋත්තරකරුවන්ට ලබාදීමකින් තොරවම අතුරු නියෝගයක් නිකුත් කිරීම වැරැදි බව ඒ මහතා කියා සිටියේය.

මෙම පෙත්සම සම්බන්ධ වගඋත්තරකරුවන්ගෙන් කරුණු දැක්වීමකින් තොරව නිකුත් කළ අතුරු නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විරෝධය පළ කළේය.

එහෙත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා එම අතුරු නියෝගය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ අධිකරණය අතුරු නියෝගය දීර්ඝ නොකිරීමටත්, පෙත්සම ජූනි 15 වැනිදා නැවත කැඳවීමටත් තීරණය කෙළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා නීතිපති වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන්ද පෙනී සිටියේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා