බැසිල්ට ඇප දෙනවද නැද්ද?

බැසිල්ට ඇප දෙනවද නැද්ද?

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් හා පාරිතෝෂිත දීමනා අයථා පරිහරණය කරන ලදැයි රක්ෂිත බන්ධනාගාරගත හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනාට ඇප ලබාදෙනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ‍ලබාදීම ලබන 27 දිනට නි‍යම කළ කඩුවෙල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා සැකකරුවන් එදින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (20) නියෝග කළේය.

ඇප ලබාදීම හෝ ලබා නොදීමේ නියෝගය කඩිනමින් ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටිමින් විත්තියේ නීතිඥවරු කළ කරුණු දැක්වීම් හා අදාළ චෝදනා පොදු දේපළ විෂයෙහිලා ගැනෙන වරදවල් බවට රජයේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම්වලින් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

පසුගිය අප්‍රේල් 22 දින රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන්ගේ ඇප ලබාදීමේ නියෝගය කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා සිටි විත්තියේ නීතිඥවරුන් ඇප ලබාදීම හෝ නොදීමේ නියෝගය තවදුරටත් ප්‍රමාද වුවහොත් සැකකරුවන්ට තවදුරටත් අගතිදායක වන බව පෙන්වා දුන්නේය.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් පාවිච්චි කර ඇති හෙයින් ඉදිරිපත් කර ඇති චෝදනා පොදු දේපළ පනත යටතේ ගැනෙන වරදවල් නොවන බවට ඔවුන්ගේ නීතිඥයින් (විත්තිය) ගෙනෙන තර්ක, විරෝධතා, පදනම් විරහිත බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා කරුණු දක්වමින් පැවසීය. 1982 අංක 12 දරන පොදු දේපළ අඥා පනත යටතේ ඕනෑම දෙපාර්තමේන්තුවක් සතු දේපළක් පොදු දේපළ පනතේ නිර්වචනයන්ට ගැනෙන බැවින් දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් පාවිච්චියද එම නිර්වචනයට අදාළ වන බව පෙන්වා දුන් මුදලිගේ මහතා තවමත් එම මුදල් ප්‍රතිපූර්ණය කර නොමැති බවත් එම නිසා අදටත් එම දෙපාර්තමේන්තුවට ලැබිය යුතු පොලිය අහිමි වී ඇති බවත් පෙන්වා දුන්නේය.

බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනකුට එරෙහි පැමිණිල්ල කඩුවෙල අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට ඇපදීම සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කරන තර්ක අදාළ නොවන බව පෙන්වාදුන් මුදලිගේ මහතා ඇප ලබාදීමට අදාළව සෞඛ්‍ය ඇතුළු සුවිශේෂී කරුණු ඇත්නම් එය විත්තිය මඟින් ඔප්පු කළ යුතු බවද පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතාව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයන්ට අනුකූලව සැකකරුට බන්ධනාගාරයේ සිටියදි ප්‍රතිකාර ලබාදිය හැකි බවත් 2010 වසරේදී යම් යම් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කළ බවට සනාථ වී නොමැති බවත් එම වාර්තාවන් අනුව ‍පෙනී යන බවද කරුණු ඉදිරිපත් කෙරිණි.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් මිලියන ගණනක් මහා භාණ්ඩාගාරය මඟින් මුදල් නිකුත් කිරීමට පෙර සේවකයින්ට පාරිතෝෂිත දීමනා වන්දි ලෙස ගෙවීම 2015 වර්ෂය සඳහා ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම,ඉසුරුමත් නිවාස ව්‍යාපෘතිය යටතේ දිවයිනේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හැර සියලුම දිවි නැගුම ප්‍රතිලාභීන්ට රුපියල් 2500 බැගින් ගෙවීම ඇතුළු චෝදනා ගොනුකරමින් ඉදිරිපත් කර තිබු පැමිණිලි තුනක් සම්බන්ධයෙන් මෙම නඩු විභාගය පැවැත්විණි.

බැසිල් රාජපක්ෂ මහතාව ගිලන් රථයක් මඟින් අධිකරණ භූමියට රැගෙනවිත් තිබූ අතර පැමිණිලි විභාගය අවස්ථාවේ ඔහු ගිලන් රථයේම සිටියේය. සෙසු සැකකරුවන් වන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්.කේ.ඒ. රණවක, එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් විත්තිකූඩුවේ සිට පැමිණිලි විභාගයට මුහුණ දුන්නේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා