ත්‍රිවිධ හමුදා කණ්ඩායම්වලට පාපැදි තරග සීමා කරයි

ත්‍රිවිධ හමුදා කණ්ඩායම්වලට පාපැදි තරග සීමා කරයි

 සිවිල් පාපැදි ක්‍රීඩා සමාජ නඟාසිටුවීමට මූල්‍යාධාර

ශ්‍රී ලංකා පාපැදි තරග බිමේ වර්තමානයේ පැවැත්වෙන අසමානතාව අවම කිරීම සඳහා සිවිල් පාපැදි ක්‍රීඩා සමාජ නගා සිටුවීමටත් තරගයකට සහභාගි විය හැකි ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සංඛ්‍යාව දෙක බැගින් සීමා කිරීමටත් නව පාපැදි සම්මේලනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.

දිවයිනේ පැවැත්වෙන පාපැදි තරගවලදී යුද, ගුවන් හා නාවික හමුදාව කණ්ඩායම් 3 බැගින්ද, දෙහිවල–ගල්කිස්ස නගර සභාව, වරාය හා පොලිසිය කණ්ඩායම් 2 බැගින්ද ඉදිරිපත් කිරීම බොහෝ විට දක්නට ලැබේ. කණ්ඩායමක් යනු උපරිමයෙන් ක්‍රීඩකයන් 6 දෙනෙකි. ඒ අනුව එක් හමුදාවකින් තරග වදින ක්‍රීඩක සංඛ්‍යාව 18කි. මෙරට සිවිල් පාපැදි සමාජ ක්‍රීඩකයන් 6 දෙනෙකු සොයා ගන්නේ ඉතා අමාරුවෙනි. බොහෝ විට ඔවුන්ගේ කණ්ඩායම් ක්‍රීඩකයන් 4කට බැගින් සීමා වෙයි.

මේ නිසා සිදුවන්නේ සිවිල් පාපැදි ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයන් 6 දෙනෙකු හමුදා කණ්ඩායමක ක්‍රීඩකයන් 18කට එරෙහිව තරග වැදීමයි. මෙය වෙනත් කිසිම ක්‍රීඩාවක දක්නට නැති අසමානතාවක් බව නව පාපැදි පරිපාලනයේ අදහසයි. මේ ක්‍රමය යටතේ සිවිල් පාපැදි සමාජ ක්‍රීඩකයෙකුට තරග ජයග්‍රහණයක් කිසිදා නොලැබෙන බව ඔවුන්ගේ මතය වී තිබේ. පවතින ක්‍රමය අනුව වැඩි ජයග්‍රහණ වාසිය ඇත්තේ ත්‍රිවිධ හමුදා කණ්ඩායම්වලටය.

මෙරට සිවිල් පාපැදි ක්‍රීඩා සමාජ පසුගිය කාලයේ දැඩි පසුබෑමකට ලක්ව තිබේ. ඔවුනට අනුග්‍රාහකයන් සොයා දීමට උත්සාහ නොකළ හිටපු පාපැදි බළධාරීන් බොහෝ විටමේ සමාජ තබා ගත්තේ ඡන්ද ලබා ගැනීමට පමණක් බව පැවසේ.

ඒ හැරෙන්නට මේ සමාජවලට උපකාර කිරීම සඳහා කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවිණි. නව පාපැදි සම්මේලනයේ විධායක කමිටුව පසුගිය සතිඅන්තයේ රැස්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩාවේ දිගින් දිගටම පැවතී ගෙන එන මේ අසමානතාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව දැනගන්නට තිබේ. ලබන වසරේ සිට පාපැදි තරග බිමේ සමානතාව ඇති කිරීමේ උත්සාහයක් ලෙසින් තරගයකට සහභාගි වන එක් හමුදාවක කණ්ඩායම් ගණන 3 සිට 2 දක්වා අඩු කිරීමට තීරණය වී තිබේ.

හමුදා කණ්ඩායම් සහභාගිත්වය මෙසේ අවම කිරීමෙන් තරගයකට සහභාගි වන ක්‍රීඩක සංඛ්‍යාව අඩු වීම වැළැක්වීම සඳහා ඉදිරි මාස හයේදී සිවිල් පාපැදි සමාජ නගා සිටුවීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ත්‍රිවිධ හමුදා පාපැදි කණ්ඩායම් ගණන අඩු කිරීම හා සිවිල් පාපැදි සමාජ නගාසිටුවීම සමාන්තරව ක්‍රියාත්මක කිරීම නව පාපැදි බළධාරීන්ගේ අරමුණ වී තිබේ.

ඒ අනුව මෙරට සිවිල් පාපැදි සමාජවලට මූල්‍ය අනුග්‍රහයක් ලබා දෙනු ඇති අතර මේ සඳහා වැඩපිළිවෙලක් ලබන 6 වැනිදා පැවැත්වෙන පාපැදි සම්මේලන කවුන්සල රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. මේ වැඩපිළිවෙලට අනුව මූල්‍ය ආධාර ලබා දීම සඳහා ඒ ඒ සිවිල් පාපැදි සමාජවලට යම් යම් ක්‍රියාකාරකම් නියම කෙරෙනු ඇත.

මීට අමතරව, මෙරට පාසල් පාපැදි සංවර්ධනය ප්‍රමූඛත්වයේ ලා සැලකීමටද නව පාපැදි සම්මේලනය තීරණය කර තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා