‘බස්තියන් පයින් යමු’

‘බස්තියන් පයින් යමු’

‘අනේ මංදා බස්තියන් පයින් යන්න වෙලා” හිනාපප්පි කොන්ද පිරිමදිමින් පුටුවක වාඩිවුණා.

“ඇයි පප්පියේ ?” හිනා පප්පා ඇසුවේ ආදරයෙන්.

“මං ගියා අනේ බස් එකක” හිනාපප්පී හීල්ලුවා.

“ඉතින් ?! ඕක අමුතු දෙයක්ද? ”

“අමුතු දෙයක්නම් නොවෙයි තමයි. ඒත් ඉතින් දැන් කාලේ බස්වල යන ඇත්තෝ පුදුම පවක් කරලා තියෙන්නේ.”

“ඒ මොකද ?”

“ගිහිල්ලා බලනවකෝ බස් එකක එක දවසක්, ඔය ‘හුටු හුටු’ මෝටර් බයිසිකලේ පැත්තකට දාලා” හිනා පප්පී රවමින්, කොන්ද පිරිමදිමින් ගෙට ගියා.

“ඒක හරි ! මාත් කියන්නේ ඒකයි. විපල්ක.....නෑ! නෑ! විකල්ප ක්‍රම හොයා ගනිමු ගමනා ගමනයට” බස් පාලනය කරවන පප්පෙක් එතැනට කඩාගෙන වැදුණා.

“ඒ කියන්නේ බර කරත්ත වගේ දේවල්ද ?” හිනාපප්පා විමසුවා.

“බර කරත්ත ඕනෑ නෑ. බසුත් දැන් ඒ වගේ තමයි” පවසමින් එතනට කඩාපාත් වුණේ බස් සංගම් ලොක්කා.

“ඇයි එහෙම කියන්නේ” හිනා පප්පා විමසුවා.

“එහෙම කියන්නේද ? පාට්ස් ගණන්! ඩීසල් ගණන්, ටයර් ගණන්, සෙනඟ නෑ. ඉතින් බස්යන්නෙත් බරකරත්ත ගාණට හෙමින්” බස්සං ගම් පප්පා සීස් වෙච්ච ඉන්ජිමක් වගේ කරකරස් ගෑවා.

“සෙනඟ නම් ඔය ඕනෑහැටියේ ඉන්නේ. බෙල්ල නැතුව හරි ගෙදර යන්න බස්වල එල්ලිලා යන්නේ” “ඒ වුණාට මදි මදි ! තව මදි”.

“ඒක නොවෙයි, මගීන්ටයි, බස් පාලන පප්පලාටයි, බස් සංගම් පප්පලාටයි සතුටුවෙන්න පුළුවන් විදිහේ විසඳුමක් මේ ප්‍රශ්නෙට දෙමුකෝ” බස් පාලනය කරවන පප්පා කීවා.

“විසඳුම් හොයන්න මං දෙවි කෙනෙක්ද ? කෝකටත් තව ටික දවසකින් එනවලකෝ” පවසමින් හිනා පප්පා කුස්සියට ගියේ කල්පනා කරමින්.

ඉන්පසු හිනා පප්පා ජැන්ඩියට ඇඳ පැළඳගත්තා.

“මේ කොහෙයන්නද ?” හිනාපප්පී විමසුවා.

“බස්එකක යන්න”.

“හරි හරි ! බස් එකක කොහේ යන්නද ?”

“කොහේ හරි! බස් ගැන නිරීක්ෂණයක් කරන්න”.

“දෙයියන්නේ පිහිටයි!”

හිනා පප්පීගේ මුහුණ හුළංගිය ටයරයක් මෙන් වුණා. හිනාපප්පා මහපාරට ගියා.

අනාරාධනයෙන් පැමිණි බසයක් ඔහු ඉදිරිපිට නැවැත්තුවා.

“ඔටුවෝ...ඔටුවෝ.....ඔටුවෝ”.

කොන්දොස්තර මල්ලියා කෑගහනවා.

“අනේ මල්ලි! මේ බස් එකට නංගන්නේ ඔටුවෝ විතරද ? මම නම් මනුස්සයෙක්” හිනා පප්පා බැගෑපත්වුණා.

“මැන්ටලයක්නේ. මං ඔටුවෝ ඔටුවෝ කියලා කිව්වේ කොටුව කියන එකට. එහෙම කීවාම ලේසියෙන් කියන්න පුළුවන්” කොන්දොස්තර මල්ලී කීවේ කෝචොක් හිනාවක් පාමින්.

“කොටුවෝ. කොටුවෝ. ඔටුවෝ”.

බසය ඉගිලුණා. පොළොවට අඟල් 6 ක් විතර උඩින් ගියා. ඒ සමඟ තවත් බසයක් නැවතුණා.

“අයියා නඟින්ට ! හෙමින්! නඟින්ට අපි මෙතනින් යන්නේ විනාඩි විස්සකුත් තව අලුක්කාලකුත් ඉඳලා! මීගොන්.....මීගොන්!” කොන්දොස්තර මල්ලී කෑගැහුවා.

“මීගොන්නුත් බස්වල යන බව මං දන්නවා. ඒත් මේකේ යන්නේ මීගොන් විතරක්ද ?” හිනා පප්පා බැගෑපත් වුණා.

“ටියුබ් ලයිට්නේ! මේ බස්එක යන්නේ මීගොමුවට. මම ලේසියට යි එහෙම කිව්වේ”.

ඕනෑ කුජ්ජිතයක් කියලා හිතාගෙන හිනා පප්පා බසයට නැඟ රියදුරු අසුනට පසුපස අසුනේ වාඩිවුණා.

විනාඩි 30 ක් පමණ ගත වුණා. කොන්දොස්තර බෙල්එක ගැහුවා.

“යං පියාඹලා..” යං පියාඹලා..” ඔහු හින්දි සින්දුවක තනුවකට කීවා.

“හරෙ.හරෙ...හරේ.... හරේ !”

ඩ්‍රයිවර් බස්එක පණගැන්වූවා.

ඒ මොහොතේ කොන්දොස්තර මළයා ආවේශ වුණා.”

“පාගපං හික්මීයෝ! බටු මූණා පස්සෙන් පන්නගෙන ෆලෝ කරනවා”.

“රයිට්”.

බසය ඉගිලුණා.

“කටු මාටියා ගිහිල්ලා විනාඩි පහයි. බටු මූණාගේ පිටි පස්සේ නිදිමත බට්ටාගේ සුනාමිය එනවා ඇති පාගපා.....ං!”

කොන්දොස්තර මල්ලී හිනා පප්පා දෙස බැලුවා.

“අන්කල් මරු ඒවාගෙන්ම රුපියල්ම ගන්නකෝ”.

“මට නවයේ ටිකට් එකක් දෙන්න”.

හිනාපප්පා රුපියල් දහයක් දුන්නා. එය ගත් කොන්දොස්තර යන්නට සැරසුණා.

“මල්ලී ඉතිරි රුපියල”.

“ඉතිරි?! මඤ්ඤංද? මාරු කාසි බැංකුවෙත් නෑ. ඒ ගොල්ලොත් අහන්නේ අපෙන්. ඔහොම ඉන්නවා. තිබුණොත් දෙන්නම්, තේරුණාද ගරු හරක් මහත්තයෝ!?” කොන්දොස්තර මළයා ගරු සරු ඇතිව කීවා. හිනා පප්පා නිහඬ වුණා.

මොහොතකින් බසය සෙනඟින් පිරුණා.

“හා ! හා! තව ළං වෙන්න. ඔය මහත්තයා උඩ පොල්ල අල්ලාගන්න. ඔය නංගී තව ටිකක් ඇකිළෙන්න. එතනට තව දෙන්නෙක් දාන්න පුළුවන්. එය බඩ මහත මහත්තයාගේ බඩ රාක්කෙන් තියන්න. පොඩි පැටව් රාක්කෙට රිංගන්න. හරේ! යමාං. බටු මූණා පන්න පන්න ෆලෝ කරනවා”.

බසය ඉගිලුණා. මොහොතකින් ගැස්සිලිි පෙරළිලා, ඇඹරිලා, කෙඳිරිලි සමඟින් බසය නැවතුණේ ගසක හැපී!”

“හත්තිලව්වයි! ජම්පින්.

සිරා ! බස්එක හැප්පිලා” කොන්දොස්තර කෑගැසුවා.

හිනාපප්පා අමාරුවෙන් නැඟිට පාර දිගේ සෙමින් සෙමින් පියමැන්නා.

“නැවත බරකරත්ත යුගයක් ඇතිකර බස් ඉවත දමන්න මං උපදේශයක් දෙනවා. බරකරත්ත අදින්න මේ රටේ ඉන්න සමහර ගොන්නු යොදාගන්න පුළුවන්. හිනාපප්පා හිතුවා.