කොල්වින්ගේ සිහිනයෙන් නඩුකාරයා අන්දමන්ද වෙයි

කොල්වින්ගේ සිහිනයෙන් නඩුකාරයා අන්දමන්ද වෙයි

මේ රටේ නීතිඥයෝ ඇති පදමට සිටිති. ඒ අය අතර දේශපාලනයට සම්බන්ධ අය ද බොහෝ ය.

මේ අය අතර අති ප්‍රසිද්ධ වූවෝ ද වෙති.

නමුත් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා තරම් පතළ නමක් හා කීර්තියක් දිනාගත් තවත් නීතිවේදියෙක් නැතුවා සේ සිතේ.

කොල්වින් ඒ තරම්ම චිරප්‍රසිද්ධය. ඔහු ගැන නොදන්නා පොඩි එකෙක් පවා නැත. ඔහු මියගිය පසුව උපන් දරුවෝ ද කොල්වින් ගැන දනිති.

ඔහුට වඩා ඔහු පෙනී සිටි නඩු ගැනද දනිති.

කොල්වින් වරක් මිනී මැරම් නඩුවකට පෙනී සිටියා.

ඔහු සුපුරුදු පරිදි එවරත් පෙනී සිටියේ මිනී මැරූ පුද්ගලයා වෙනුවෙන් ය.

බිරිඳ වෙනත් අයකු සමඟ නිදි යහනක සිටිනු අතටම හසුවූ සැමියා හොර සැමියාගේ හිසට පහර දී මරා දමනු ලැබුවා.

අවසන සැමියා මිනී මැරුම් චෝදනාව ලබා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. චෝදනාව බරපතළයි. ඔහු වෙනුවෙන් පෙනී සිටියේ ආචාර්ය කොල්වින් ආර් . ද සිල්වා නමැති කෘතහස්ත නීතිවේදියායි.

හොර සැමියාව මරා දැමූ බව තහවුරු වී හමාරයි. සැමියාට නිදහස නැති පාටයි.

නඩුකාර හාමුදුරුවන් ඉදිරිපිට පැමිණිල්ල කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් සැමියාව ගස් අරන්නට සැරසෙයි.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින කොල්වින් පුටුවේ වාඩිවී දෑස් වසාගෙන නිදි කිරයි.

ඔහු කිසිම තර්කයක් ගැන කතා නොකිරීම ගැන නඩුකාරයාට ද ප්‍රශ්නයක්.

පැමිණිල්ලේ තර්ක ඉදිරිපත් කර අවසන් විය.

නඩුකාරයා නිදිකිරමින් සිටි කොල්වින් දෙස බලා රැල් බුරුල් හැර,

ආචාර්ය සිල්වා මහතාට පැමිණිල්ලෙන් යමක් අහන්න තියනවා දැ” යි හඬ නඟා ඇසීය.

නඩුකාරයාගේ හඬින් එකවරම නින්දෙන් අවදිවූ කොල්වින්,

“ස්වාමීනි මට සමාවෙන්න. අධික වෙහෙස නිසා මට පොඩ්ඩක් ඇස් පියවුනා. ඒ අතරෙ හීනයක් දැක දැකයි හිටියේ. පැමිණිලි පාර්ශවය කියූ දේවල් ඔලුවට වැටුනෙත් නෑ” යි කීය.

“මොකක්ද හීනෙන් දැක්කේ?” නඩුකාරයා දැඩි කුහුලකින් කොල්වින්ගෙන් ඇසුවා.

“ස්වාමීනි පුදුම හීනයක්. කියලත් බෑ...නොකියත් බෑ...”

“කියන්න කියන්න කවුරුත් කැමති ඇති දැනගන්න”.

කොල්වින් තමා දටු සිහිනය කිව්වා.

“ස්වාමීනි ඒක පුදුම සිද්ධියක්. හිතාගන්නත් අමාරුයි. ඔබතුමා උසාවියට ඇවිල්ල වැඩි වෙලාවක් ගියේ නෑ. හොඳ හැඬ වැඩ ඇති ජවසම්පන්න තරුණයෙක් ඔබතුමාගෙ ගෙදරට ආවා. පසුව ඔබතුමාගෙ ලස්සන බිරිඳ සමඟ ටිකක් කතාබහ කරමින් සිට නිදන කාමරයට ගොස් ඈ සමඟ යහන්ගත වුණා.”

කොල්වින් මේ සිහිනය කියා අවසන් වෙනවාත් සමගම නඩුකාරයාට තදින් කේන්ති ගිය බව උසාවියේ සිටි කාටත් පෙනී ගියේය.

“මොනවා ?”

නඩුකාරයා මහ හයියෙන් කොල්වින්ගෙන් ප්‍රශ්න කළේය.

නඩුකාරයාගේ විලාසය දුටු කොල්වින්

“ස්වාමීනි ඔබතුමාගේ බිරිඳ වෙනත් තරුණයෙකු සමග නිදියහනේ සිටිනවා හීනෙන් දැක්කම ඔබට ඔය තරම් කේන්ති යනවා නම් විත්තිකරුට තමාගේ ගෑනි වෙනත් අයකු සමඟ අනග රඟ විඳිනා හැබැහින් දැක්කාම මොන තරම් කේන්තියක් යන්න ඇති දැ” යි නඩුකාරයා දෙස බලා සිනාසෙමින් ඇසීය.

නඩුකාරයා බරපතළ අර්බුදයකට මුහුණ දුන්නා.

අන්තිමට මිනී මැරුම් චෝදනා ලැබූ විත්තිකරු සිපිරිගෙට නොගොස් ගෙදර ගියා.

කොල්වින්ගේ අපූරු සූරකම් ඔන්න ඔහොමයි.

කොල්වින් ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භක ක්‍රියාශීලියෙක්. සම සමාජයයි කොල්විනුයි ගහට පොත්ත වගේ.

බලපිටියේ සී. එම්. එස්. පුංචි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලත් කොල්වින් 1932 දී ආචාර්ය උපාධිය ලැබුවා.

දේශපාලනයයි, නීතිඥ වෘත්තියයි දෙකම එකට කළ කොල්වින් 1947 දී බෝල්ෂෙවික් ලෙනින් පක්ෂයෙන් දෙහිවල – ගල්කිස්සට තරග කළා.

ලංකාවේ හිරගෙවල් කඩාගෙන රැකවරණ සඳහා ඉන්දියාවට පැන්න කොල්වින් ඉන්දියාවේදී නම් කීපයකින් පෙනී සිටියේ අධිරාජ්‍ය පොලිස් මුර බල්ලන්ගෙන් බේරෙන්නයි.

කොල්වින් වරක් ඉන්දියාවේ සැඟවී සිටියෙ ලෙස්ලි හා විවියන් හොරෙන් සැඟවී සිටි ගෙදරයි.

මේ ගෙදර ඉදිරිපිට ලස්සන කුඩා තණ පිට්ටනියක් තියනවා. කොල්වින් එක දවසක් හැන්දෑ ජාමෙ නිවහනට එන විට අර තණ පිට්ටනිය මැද පත්තරයක් බලමින් අමුත්තෙක් වාඩි වී සිටියා. කොල්වින්ට සැකයක් කවුද මේ අමුත්තා කියලා. හොරැහින් බැලූ කොල්වින් පිටිපස්ස දොරින් ගෙට ඇතුළු වී අමුත්තා දෙස තවත් වරක් ජනේලයෙන් බැලුවා. ඔහුගේ සැකය තවත් වැඩි වුණා.

“ඇලිස් මෙහෙ වරෙන්. අර පත්තරය බලන මිනිහා කවුද කියල පොඩි විපරමක් දාල වරෙන්” ගෙදර මෙහෙකාරිය ඇමතූ කොල්වින් කීය.

අමුත්තා, පිටු පෙරලා ඇති පත්තරයට උඩින් නිවස දෙස බලන බව කොල්වින් ජනේලය තුළින් යළිත් දුටුවා.

ඔහුගේ සැකය හරි. සුද්දන්ගේ රහස් පොලිස් බල්ලෙක් ඉව අල්ලයි. තවත් මෙහි රැදුනොත් බරපතළ ප්‍රශ්නයකට මුහුණපාන බව අවබෝධ කරගත් කොල්වින් විවියන්ට ඒ බව කීවා.

මේ අවස්ථාවේ ලෙස්ලි නිවසින් බැහැරට ගොස්ය.

විවියන් සිටියේ තම අත දරුවා සමඟ ය.

විවියන් අත දරුවා සාළුවක ඔතාගෙන ගත හැකි වටිනාම දේවල් මල්ලක ඔබාගෙන නිවසින් පැන ගත්තා. කොල්විනුත් පැනගත්තා. දෙන්නා ගියේ දෙපැත්තකටයි. විවියන් ලෙස්ලි කොහේද කොල්වින් කොහේද කියල කවුරුවත් දන්නෙ නෑ.

මාස හතකට පමණ පසු ලෙස්ලි සහ කොල්වින් හදිසියේ මුණගැසුනා.

“මම හිතුවෙ සහෝදරයව පොලිසියට කොටුවුණා කියලා”.

“මමත් හිතුවෙ ඔය සහෝදරයව පොලිසියට කොටුවුණා කියලා”.

දෙන්න දෙන්නටම කියාගත්තා. බැලුවම දෙන්නම පොලිසියට හසුනොවී කට්ටි පැනලා.

1972 ස්වෛරී නිදහස් ජන රජයේ නිර්මාතෘවරයා කොල්වින්ය. සෝල්බරි ව්‍යවස්ථාව අනුව එම ව්‍යවස්ථාව අනුව එම ව්‍යවස්ථාව පරයන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩ නැති බව නීති විශාරද කොල්වින් දනී.

ඔහු මෙයට හොඳ උපක්‍රමයක් යෙදීය. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස නවරඟහලේ රැස්වීය. මේ උපාය ශ්‍රේෂ්ඨාධිකරණය පවා පිළිගත්තේය.

කොල්වින් 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත්තේ එසේය. 1953 අගෝස්තු මහා හර්තාලය, 56 දේශපාලන පෙරළිය, 72 ව්‍යවස්ථාව, කොම්පැනි වතු ජනසතු කිරීම මේ යෝධ කාර්යයන්ට උරදුන් මහා පාංශු දේශධාරී දැවැන්ත දේශපාලනඥයන්ගේ විශිෂ්ටයකු වන්නේ කොල්වින්ය.

ඔහු අති විශිෂ්ටම නීතිවේදියෙකි. සම සමාජ පක්ෂයේ නායකයෙකි. මන්ත්‍රීවරයෙකි. ඇමැතිවරයෙකි.

එහෙත් කොල්වින් අතිශයින් නිරහංකාර මිනිසෙකි.

මේ සිද්ධිය වන විට කොල්වින් ව්‍යවස්ථා කටයුතු ඇමැතිවරයාය.

ඔහු එක දවසක් තම හිතවත් රෝගියෙක් බලන්න කොළඹ මහ රෝහලේ වාට්ටුවකට ගියා. වෙලාව දහවල් 11. 45 ට විතර ඇති. ලෙඩුන් බලන්න තව ටික වෙලාවක් තියෙනවා.

කොල්වින් වාට්ටුවේ ගේට්ටුව ළඟ හිටගෙන ඉන්නවා. වාට්ටුවෙ ඇතුලේ ඉන්න නර්ස් නෝනලා කොල්වින්ව හඳුනාගෙන ළඟට දුවගෙන ආවා.

“සර්..සර්....ඇතුළට එන්න”.

“නර්ස් නෝනෙ තව ටික වෙලාවක් තියෙනවනෙ ? ඒ ටිකත් ඉමු...”

මෙය දුටු හෙදි පාලිකාව ඈත සිට කොල්වින් වෙත දුවවිත් ඔහුව රෝගියාගේ ඇඳ ළඟට එක්කරගෙන ගියා.

කොල්වින් තම නිලබලය කවදාවත් කොතනටවත් අයුතු ලෙස යෙදූ මිනිසෙක් නොවේ.

සිය පක්ෂයේ ඉදිරි ගමනට දර දිය ඇද්ද, දහදිය හෙළූ පාක්ෂිකයන්ගේ නඩුවලට නොමිලේ පෙනී නොසිටින බවට කොල්වින්ට සම සමාජ පාක්ෂිකයන්ගෙන් නිතරම චෝදනා එල්ල වූ බව වාර්තා වෙනවා.

කොල්වින් නීතිඥ වෘත්තියයි, දේශපාලනයයි එකට පටලවා ගත් කෙනෙක් නෙමේ.

ඔහු නීතිඥ වෘත්තියෙන් ඉපයූ මුදල් පක්ෂයේ දියුණුවට යෙදූ වාර අනන්තයි. කොල්වින් සිය පාක්ෂිකයන් එල්ල කළ චෝදනා බැහැර කළා.

එහෙත් පාක්ෂිකයෝ සිය මතයේම එල්බ සිටියා.

එක දිනක් සම සමාජයේ තවත් ප්‍රබලයෙක් කොල්වින් හමුවට විත් “සහෝදරයා අපේ පාක්ෂිකයන්ගේ නඩුවලටත් ඔබ සල්ලි අයකරන බවට චෝදනා තියනවා. ඒක බරපතළ තත්ත්වයක්” යැයි කීය.

“නෑ සහෝදරයා ඒක මම ප්‍රතික්ෂේප කරනවා”.

“නෑ”.

“නෑ. නෙමේ ඔව්. මේ ළඟදිත් අපේ පක්ෂයේ පාක්ෂිකයෙක් නඩුවකට පෙනී සිටින්න කියල මගෙන් ඉල්ලුවා” කියමින් කොල්වින් එම කතාන්තරය මෙසේ කීය.

“මම ගෙදර ඉන්න කොට හැඩි දැඩි තරුණයෙක් මාව හොයාගෙන ආවා”.

“තමා කොහෙන්ද ?” කොල්වින් ඇසීය.

“ඇයි සර් මම අසවල් ශාඛාවේ ලේකම්. එදා පටන්ම මම පක්ෂයට මැරිල වැඩ කළා”.

“ඉතිං දැන් තමුන්නැහැ මාව හමුවෙන්න ආවෙ ඇයි ?”

“සර් මාව පොලිසියෙන් අල්ලන්න යනවා. මාව බේරගන්න..” කියමින් මේ තරුණයා හඬන්නට පටන් ගත්තේය.

“මොකෑ කළ වරද ?”

“මම අසුවලාව මැරුව කියල පොලිසිය සොයනවා. මාව බේරගන්න”.

“යුෂ්මතා ඔහුව මැරුවද ?”

“ඔව්”.

“කොහොමද ?”

“කැලෑ පාරකින් යන කොට පිහියෙන් ඇන්නා”.

“ඉතින් කවුද දැක්කෙ ?”

“කවුරුවත් දැක්කෙ නෑ”

“තමුසෙ දැන් කෙළින්ම පොලිසියට යනවා. ගිහිං බාරවෙනවා. මැරුවෙ තමුසෙ කියනවා. පොලිසිය තමුසෙට මොනව කළත් වෙන අනන් මනං මොකුත් කියන්න එපා. දැන් යනව ගිහින් බාරවෙනවා.”

තරුණයා අඬමින්ම පොලිසියට ගොස් බාරවිය. සිද්ධිය එතකින් ඉවරයි.

“මාස හතකට පමණ පස්සෙ තරුණයෙක් කිරි පැණි හට්ටියයි, බුලත් අතකුයි අරන් කොල්වින් හමුවීමට ආවා.

“කවුද තමුන්නැහේ?” කොල්වින් ඇසීය.

“ඇයි සහෝදරයා මාව අඳුනන්නෙ නැද්ද ? දැන් මාස හත අටකට කලින් මිනී මැරුමක් ගැන මාව පොලිසියට භාරවෙන්න කියලා ඇරියේ”.

“හා හා මතකයි....ඉතින් මොකද වුණේ ?”

“සර් මම භාර වුණා. උසාවි ගියා. මාස ගානක් ඇසින් දුටු සාක්ෂි නැති නිසා මාව නිදහස් වුණා. සර් කරපු උදව්වට මට කරන්න හැකි එකම දෙය බුලත් අතක් දීල වඳින එක විතරයි”.

තමා පාක්ෂිකයන්ගේ නඩුවලට නොමිලේ පෙනී නොසිටින බවට පක්ෂයේම උසස් අයෙක් නැඟූ® චෝදනාවට කොල්වින් නිදර්ශනයක් සහිතව පෙන්වා දෙමින් “ඔන්න ඔහොමයි මම අපේ පාක්ෂිකයන්ගේ නඩු වලට නොමිලේ පෙනී සිටියේ” යැයි කොල්වින් කීය.

බැලුවම ඒකත් හරිය.

හෙක්ටර් ප්‍රනාන්දු ලංකා සමසමාජ පක්ෂයේ පතාක යෝධයෙකි. ඔහු මීගමුව මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රීවරයා ද විය.

මේ අසුනට වරක් මැතිවරණ පෙත්සමක් වැටුණේය. හෙක්ටර් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටියේ අති දක්ෂ කොල්වින්ය. කවුරුත් සිතුවේ ඡන්ද පෙත්සමින් හෙක්ටර් දිනාවි යන්නයි. හෙක්ටර් පරාද විය.

තීන්දුව ප්‍රකාශයට පත් කර අවසන් වීමත් සමඟම කොල්වින් පාර්ලිමේන්තු රැස්වීමට ගියා. එදා ලොකු විවාදයක්. මේ වන විට තීන්දුව මොකක්ද කියල පාර්ලිමේන්තුවටත් ආරංචිය ගිහිල්ල.

කොල්වින්ට කතාව තිබුණේ හවස්වෙලා.

කොල්වින් බොහෝම ඇදල පැදල ගෞරවනීය ලෙස කතානායක අමතලා සභාව අමතන ව්‍යක්තම කථිකයෙක්.

“කතානායක තුමනි....මෙය දසතින් අඳුර පැතිරීගෙන එන වෙලාවයි... සිරුරට හීතල දැනෙන වෙලාවයි....”

කොල්වින් ඔය විදියට තාලයට කතාව ඇරඹීය.

බිංගිරියේ ලො.බ. ජයසේන කොල්වින්ගේ කතාව දෙස කට අයාගෙන බලා සිටියා. මේ වන විට මීගමුවේ පරාජයත් ඔහුට ආරංචි වී තිබුණා.

“සිරුරට හීතල දැනෙන වෙලාවයි” කොල්වින් කියනවාත් සමඟ නැගී සිටි ලො.බ. ජයසේන “මීගමුවත් පැරදුන වෙලාවයි” කීවා.

ලො.බ. ජයසේනගේ කතාවට මුළු සභාවම සිනාසුනා.

කොල්වින් මොන තරම් විචක්ෂණ කථිකයෙක් වුවත් ලො.බ. ගේ වචනයෙන් අන්ද මන්ද වුනා.

සිනාසෙන මන්ත්‍රීන් දෙස බැලූ කොල්වින් තමාත් හයියෙන් සිනාසී,

“කමක් නෑ.කතානායකතුමනි, මන්ත්‍රීවරුන්ටත් හිනාවෙන්න ඕනනෙ ? ඉතිං සිනාසුනාවෙ. අපි අපේ කතාව නවත්තපු තැන සිට පටන්ගම්මු” කියමින් සිය කතාව කරගෙන ගියේය.

“පෙරදා කරළිය” කෘතියෙන් උපුටා ගන්නා ලදී.