කල්චර් පරීක්‍ෂණයෙන් (Culture) විසර ගෙඩි -දිලීර- එක්සිමා  වෙන්කොට හඳුනාගත හැකියි

කල්චර් පරීක්‍ෂණයෙන් (Culture) විසර ගෙඩි -දිලීර- එක්සිමා  වෙන්කොට හඳුනාගත හැකියි

සම යනු, සිරුර හැඩ කරන ලස්සන ආවරණයක් බව බොහෝ දෙනෙක් සිතන විදියයි. නමුත්, සමෙන් ඉටුවන කාර්යභාරය නම් ඊට වඩා අතිශයින් ප්‍රබලයි. ප්‍රධාන වශයෙන් ශරීර අභ්‍යන්තරය බාහිර උපද්‍රව වලින් ආරක්ෂා කරන්නේ සම මගිනුයි. නමුත් අප නොදැනුවත්වම සමට හානිකර බැක්ටීරියා හෝ දිලීර වැඩෙමින් අපේ ශරීරයට විවිධ රෝග ඇතිකරන්නට පුළුවනි.

මේ ආකාරයට සමහරුන්ගේ සිරුරේ බැක්ටීරියා ජීවත් වෙනවා. එය හඳුන්වන්නේ සම මත බැක්ටීරියා ජනපදකරණය වීමක් ලෙසයි. මේ ආකාරයට බැක්ටීරියා සම මත තැන් තැන්වල ජීවත්වුණත්, ඒ ස්ථානවල ආසාදනයක් නම් ඇති වන්නේ නැහැ. නමුත්, ඒ වෙනුවට ශරීරයේ වෙනත් ස්ථානවල රෝග ඇතිකරනවා. මේ සඳහා හොඳ උදාහරණයක්, ස්ටැෆිලොකොකස් ඕරියස් ලෙස හඳුන්වන බැක්ටීරියාවේ වර්ධනය. මේ බැක්ටීරියාව ජීවත් වෙන්නේ, කිහිලි, ඉකිලි, නාස්පුඩු, නාභිය, ආදී තැන්වලයි. නමුත් මේ බැක්ටීරියාව මඟින් ඒ තැන්වල බොහෝ විට රෝග ලක්‍ෂණ ඇති කරන්නේ නැහැ.

ඒ වෙනුවට මේ බැක්ටීරියාව හේතුවෙන් ශරීරයේ වෙනත් තැන්වල රෝග ඇතිවීමට පුළුවන්. මේ තත්ත්වයේදී දක්නට ලැබෙන රෝග තත්ත්වය වන්නේ සිරුරේ තැන් තැන්වල විසර ගෙඩි හට ගැනීමයි. මේවා මසකට වරක් - දෙකක්, එකක් - දෙකක් වශයෙන් හෝ ඊට වැඩියෙන් හට ගන්නට පුළුවන්.

මෙවැනි තත්ත්වයකදී සිරුරේ හට ගන්නා ඒ විසර ගෙඩියට ප්‍රතිජීවක ඖෂධ ලබාදී ප්‍රතිකාර කළ විට සිදුවන්නේ විසර ගෙඩිය යටපත් වී යෑමක් පමණයි. නමුත් යළි වෙනත් තැනක විසර ගෙඩි හට ගන්නවා.

මෙලෙස සිදුවීම නිසා බැක්ටීරියාව ජීවත්වෙන ස්ථානය හා එම බැක්ටීරියාව නිවැරදිව හඳුනාගැනීම වැදගත්. එහිදී විසර ගෙඩියට ප්‍රතිකාර කරන ගමන් අදාළ බැක්ටීරියාව ජීවත්වන ස්ථානවලින් ඉවත්කර දැමීමටද කටයුතු කිරීමෙන් එම රෝගය තවදුරටත් ඇතිවීම වළක්වා ගත හැකියි.

ඒ සඳහා කල්චර් පරීක්‍ෂාවක් සිදු කළ යුතුයි. ඒ සඳහා නාස්පුඩු , ඉකිලි, කිහිලි, නාභිය වැනි තැන්වලින් කුඩා පුළුන් දැවටුමකින් ස්පර්ශ කොට ලබා ගත් තැවරුම කල්චර් පරීක්‍ෂාවට යොමු කරනවා. එහිදී බැක්ටීරියාව හඳුනාගත් පසු, ඊට සුදුසු ප්‍රතිජීවක හඳුනාගැනීමේ පරීක්‍ෂාවක්ද කරනවා. ස්ටැෆයිලොකොකල් කැරියර් ස්ටේට් ලෙස හඳුන්වන මේ තත්ත්වයේදී ශරීරය මේ බැක්ටීරියාවට වාහකයකු ලෙස ක්‍රියාත්මක වෙන අතර, සිරුරේ තැන් තැන්වල විසර ගෙඩි හට ගැනීමක් සිදු වෙනවා.

මීට අමතරව දිලීර නිසාත් සමේ රෝග හට ගත හැකියි. නියපොතුවල, ඉකිලිවල, පියයුරුවල යටි පැත්තේ, යටිපතුලේ වැනි දහදිය දමන ස්ථානවල සුලබව ඇතිවිය හැකියි. බොහෝවිට මෙවැනි තත්ත්ව වෛද්‍යවරයාට සම පරීක්‍ෂා කිරීමෙන් පමණක් වුවත් හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් සමහර අවස්ථාවලදී දිලීර සහ එක්සිමා රෝගය වෙන්කර හඳුනාගැනීමට නොහැකි අවස්ථා තිබෙන නිසා, එවැනි අවස්ථාවකදී සැක කරන ස්ථානයෙන් සම සූරා එම කොටස් අන්වීක්‍ෂයෙන් පරීක්‍ෂා කර බලනවා. ඊට අමතරව නියපොතු සුලබව දිලීර ආසාදනවලට ලක්වන කොටසක් නිසා නියපොතු නරක් වූ අවස්ථාවක නම්, නියපොත්තෙන් කැබැල්ලක් විශේෂ කල්චර් පරීක්‍ෂාවට යොමු කිරීමෙන්ද අදාල රෝගය හඳුනා ගත හැකියි. දිලීර හඳුනාගැනීම සඳහා වන විශේෂ කල්චර් පරීක්‍ෂාවෙන්, දිලීරයක් ඇද්ද නැද්ද යන්නත් තිබෙනවානම් අදාළ දිලීරය ද හඳුනාගත හැකියි.
 

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අසෝක කමලදාස