හදිසියේම කෙට්ටු වූ චන්ද්‍රපාල

හදිසියේම කෙට්ටු වූ චන්ද්‍රපාල

සායනයෙන් කතාවක්

“සායනයෙන් කතාවක්” 2013 නව වසරේ ඔබ වෙනුවෙන් ආරම්භ කෙරෙන නවතම ලිපි මාලාවක්. අපට වැළඳෙන දහසකුත් එකක් ලෙඩ රෝග පිළිබඳව, ඒ ඒ රෝගීන්ගේ කතාවන් අනුසාරයෙන් ඔබගේ දැනුම පුලුල් කිරීමටත්, ඒ දැනුම භාවිතයෙන් රෝග වැළැක්වීම හා ප්‍රතිකාර ලබා ගැනීම තුළින් නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ළඟා කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලැස්වීමත් මෙහි අරමුණයි. ඒ මඟින් “ආරෝග්‍යා පරමා ලාභා” හෙවත් නිරෝගීිකම උතුම්ම ධනයයි යන පුවත්පතේ තේමාව වඩාත් අර්ථවත් වනු දැක්ම අපගේ අපේක්ෂාවයි.

චන්ද්‍රපාල 42 හැවිරිදි බැංකු නිලධාරියෙක්. ටිකක් කලබලයෙන් වගේ සායනයට පැමිණි ඔහුට ඔහුගේ රෝග ලක්ෂණයන් තදබල කුතුහලයක් ඇතිකර තිබුණා. පසුගිය මාස කිහිපයක සිට වේගයෙන් බර අඩුවී ඇඟ කෙට්ටු වීමත්, වෙනදා දකින්නට නොමැති ඇඟපත අප්‍රාණිකත්වයත්, ශරීරයට දැනෙන හතිය හා මහන්සියත් ඔහුව සායනය වෙත රැගෙන ආවා.

චන්ද්‍රපාලගේ රෝග තත්ත්වය ගැන දීර්ඝව විස්තර විමසුවා. ඉතා රාජකාරී බහුල බැංකුවක සේවය කරන ඔහු කෑම ගත්තේ පිටතින්. නිරන්තරයෙන් ගන්නා බත් පාර්සල් වලට අමතරව චීන කෑම වර්ග වලටත් බොහෝවිට පුරුදු වී සිටියා. වානිජ අරමුණු හා රසනහර පිනායාම මූලික කොටගත් ඒ ආහාර අධික තෙල් වලින්, වැඩිපුර ආහාර ප්‍රමාණයකින් හා අධික ලුණු ප්‍රමාණයකින් යුක්ත වූවා. චන්ද්‍රපාල රාජකාරී කටයුතු ඉවර වෙලා ගෙදර එන්නේ නාලා රූපවාහිනිය බලන්න.සතියකට වරක් දෙවරක් ගන්නා මත්පැන් වේලත් ඒ අතරට ආවා.

බස් නැවතුමේ සිට නිවසට ඇවිදින කෙටි දුර හැරුණු කොට කිසිම ව්‍යායාමයක් තිබ්බේත් නැහැ. පසුගිය අවුරුද්ද වෙනකම් බරත් එන්න එන්නම වැඩිවුණා. මහත ශරීරයත් එක්ක උදරය ද විශාල වී “ලොකු බඩක්” උරුම වීම තම විධායක තනතුරට කිසියම් පෙනුමක්ද එක්කර තිබුණා. හැබැයි “ලොකු බඩ” හැර අනිකුත් ශරීරය නම් පසුගිය මාස කිහිපයේ කෙට්ටුවෙන්න පටන් ගත්තා. තරුණ කාලයේ මුල් කොටසේදී වැඩිපුර සිගරට් බිව්වත් අධික වියදම නිසා දවසට 4 -5 ක් දක්වා සිගරට් ප්‍රමාණයකට අඩුවී තිබුණා. මේ සියල්ලටම පසුබිමෙන් වගකීම් හා වැඩ අධික විධායක රැකියාව මානසික ආතතියක්ද එක්කර තිබුණා. බිරිඳ හා දරු දෙදෙනාගේ අවශ්‍යතාවයන් හා රැකබලා ගැනීමත්, තවමත් සම්පූර්ණයෙන් නිමකර නැති සුවපහසු නිවසද ඔහුට කිසියම් අවිවේකයක් හා අසහනයක් ලබා දුන්නා.

වැඩිපුර විස්තර කතා කරන විට, චන්ද්‍රපාල රාත්‍රියේදී සමහරවිට වැඩිපුර මුත්‍රා කිරීම අධික පිපාසය හේතුවෙන් වතුර අධික ලෙස පානය කිරීම නිසා කියල, ඔහු සිතා සිටිය බව දැනගත්තා.

චන්ද්‍රපාලට රුධිර පරීක්ෂණ කිහිපයක් නියම කළා. නිරාහාරව ගත් රුධිර සීනි ප්‍රමාණය 287 ථඨ/ඤත ලෙස දැක්වූවා. නිරෝගී පුද්ගලයෙකුගේ 100 ට අඩුවෙන් තිබිය යුතු මෙම සීනි ප්‍රමාණය ඉතා ඉහළ ගොස් තිබුණා. කිසියම් පුද්ගලයෙකුගේ නිරාහාරව බලන රුධිර සීනි ප්‍රමාණය 100 - 126 ථඨ/ඤත අතර අගයක් නම් ඔහු හෝ ඇය පූර්ව දියවැඩියා තත්ත්වයකින් පෙළෙනවා. මෙය “දියවැඩියාව“ ලෙස රෝග විනිශ්චය නොකළත් 126 ථඨ/ඤත ට වැඩි අගය දියවැඩියා තත්ත්වයක් ලෙස තීරණය කරනු ලබනවා.

ඔහුගේ රුධිර පීඩනය 160 /100 ලෙස දැක්වූණා. නිරෝගී අයගේ මෙම අගයන් 140 /90 ට වඩා අඩුවිය යුතු වුවත් චන්ද්‍රපාලගේ මෙම අගය ඉහළ යාම මත ඔහු අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවත් සොයා ගත්තා. රුධිරගත කොලෙස්ටරෝල් අගය එහි අවදානම් අගය වූ 240 සීමාවද ඉක්මවා 267 ථඨ/ඤත දක්වා වැඩිවී තිබුණා.

චන්ද්‍රපාලට වහාම ප්‍රතිකාර කළ යුතු රෝගයන් වන දියවැඩියාව හා අධික රුධිර පීඩනය වැළඳි ඇති බව තහවුරු වුණා. මෙම රෝගවල විශේෂත්වය වනුයේ ඒවාට ඖෂධ පෙති මඟින් පමණක් ප්‍රතිකාර කළ නොහැකි වීමයි. එම රෝග තත්ත්වයන්ට මුල්වන වෙනස් කළහැකි සාධක වෙනස් කිරීම ප්‍රධාන ලෙස සිදු කළ යුතු වෙනවා.

චන්ද්‍රපාලගේ ජීවන රටාවේ කොටස් ලෙස විස්තර කළ ආහාරයේ පිෂ්ඨය, තෙල් ගතිය හා ලුණු ප්‍රමාණය අධික වීමත් ව්‍යායාම මඳකමත් අධික බරත්, දුම්පානයත්, මත්පැන් පානයත්, මානසික පීඩනයත් වහාම වෙන්සකළ යුතු දේවල් වුණා. දියවැඩියා රෝගයට ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමත්, එහිදී ප්‍රවේශම් විය යුතු කරුණු කාරණාත්, චන්ද්‍රපාලගේ ආහාර රටාවේදී සිදුකළ වෙනස්කම් සහ ජීවන රටාවේ සිදුකළ වෙනස්කම් ගැන ලබන කලාපයේදී සාකච්ඡා කරමු.